ඥානසාර හිමියන්ට යළි චීවරය පෙරවීමට බන්ධනාගාරයට වැඩම කිරීමට ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් සූදානම්

 

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් විසින් බලහත්කාරයෙන් ඉවත් කර ඇති බවට මතුව ඇති ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ආගමික හා සමාජීය විරෝධතා පළවෙමින් තිබේ.එම හිමියන් යළිත් විනයානුකූලව චීවරය දරා සිටීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා මතුව තිබේ.මේ සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.පසුගිය ඔක්තෝබර් 30 වැනිදා යොමු කර ඇති එම ලිපියෙන් ඥානසාර හිමියන්ට යළි චීවරය පෙරවීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා ඇත.එම කටයුතු ධර්ම විනයානුකූලව සිදු කළ යුතු බැවින් ඒ සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් කඩිනමින් ලබා දෙන ලෙස ද නාහිමියෝ ඉල්ලා සිටිති. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කර තමන් වහන්සේට දැනුම් දෙන ලෙසත්, අදාළ ලිපියේ පිටපතක් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත ද යොමු කර ඇති බවත් වාර්තා වේ.මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ අදාළ ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි. ඒ අනුව මේ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ විරෝධය පළවීමත් සමඟ බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නීති හා රෙගුලාසි පිළිබඳව ද මේ වන විට පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ.

කාලීන පුවත්