ඩොලර් මිලියන 715ක් ව්‍යාජ ආනයන ලේඛන මගින් රටින් පිටට; 2024 සිට බුද්ධි තොරතුරු තිබියදීත් ක්‍රියාමාර්ග ගෙන නෑ
මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024 වසරේ සිට වෙළඳපොළ හරහා සිදුවන මූල්‍ය විශුද්ධිකරණ ජාවාරම් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා දී තිබියදීත්, ඒවා වැළැක්වීමට මේ දක්වා කිසිදු නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ප්‍රසිද්ධ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.ව්‍යාජ ආනයන ලේඛන සකස් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 715ක දැවැන්ත මුදලක් රටින් බැහැර කර ඇති බවට සිදුකළ හෙළිදරව්ව සම්බන්ධ විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, මෙය සාමාන්‍ය රේගු වංචාවක් නොව, සංවිධානාත්මක වෙළඳාම පදනම් කරගත් මුදල් විශුද්ධිකරණයක් (Trade-Based Money Laundering) බවයි.මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට බුද්ධි වාර්තා ලබා දී ඇතත්, පවතින නීති රීති නිසි ලෙස බලාත්මක නොවීම හේතුවෙන් මෙම ජාවාරම් දිගටම සිදුවන බව ඔහු අවධාරණය කළේය.එමෙන්ම COPF පරීක්ෂණවලදී ආනයන ක්ෂේත්‍රයේ නියැලී සිටින සමාගම් 500ක් පමණ සත්‍යාපනය කළ ලිපිනයන් නොමැතිව සහ සමාගම් ලියාපදිංචියට අත්‍යවශ්‍ය සංගම් ව්‍යවස්ථාවක් (Articles of Association) පවා නොමැතිව ක්‍රියාත්මක වන බව අනාවරණය වී ඇති බවද ඔහු පැවසීය.මෙම තත්ත්වයට පිළිතුරු දෙමින් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා නව නීති රීති හඳුන්වා දීමට රජය සූදානම් වන බවයි. පවතින නීතිය යටතේ වරදකරුවන්ට දඩ නියම කිරීමට පමණක් හැකි බැවින්, වරද අපරාධයක් ලෙස නම් කර සිර දඬුවම් ඇතුළු දැඩි දඬුවම් ලබා දීමට නව නීති අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය.නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, අලුතින් නීති හැදීමට පෙර 2019 වසරේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නීති සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.එම කැබිනට් අනුමැතිය ලැබුණු සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත යොමු කර තිබුණද, ගත වූ වසර හයක කාලය තුළ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එය නිම කිරීමට අපොහොසත් වී ඇති බව ඔහු චෝදනා කළේය.මෙවැනිම අක්‍රමවත් තත්ත්වයක් සූදු සහ කැසිනෝ කර්මාන්තයේ ද පවතින බව COPF සභාපතිවරයා වැඩිදුරටත් හෙළි කළේය.කැසිනෝ නියාමනය සඳහා ආයතනයක් පිහිටුවා තිබුණද, එය ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීති රීති සහ රෙගුලාසි මාලාවක් නොමැති වීම නිසා විධිමත් පාලනයක් සිදු නොවන බව ඔහු පැවසීය.එපමණක් නොව, ඔට්ටු ඇල්ලීමේ සේවාවන්හි නියුතු ඇතැම් කැසිනෝ ආයතන කිසිදු බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවමින් නොමැති බවට එම දෙපාර්තමේන්තුව විසින්ම අනාවරණය කර ඇති බවද ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.මෙම සියලු කරුණු ප්‍රසිද්ධ මුදල් කාරක සභාව විසින් පුළුල් ලෙස පරීක්ෂාවට ලක් කර ඇති අතර, මූල්‍ය අපරාධ වැළැක්වීම සඳහා පවතින නීති දැඩිව බලාත්මක කිරීමේ සහ නියාමන ආයතන ශක්තිමත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව අවසානයේදී ඔහු අවධාරණය කළේය.