තායිලන්තයේ වැඩිමහල් රාජකීය දියණිය ‘පා කුමරිය’ අභාවප්‍රාප්ත වෙයි

තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වූ බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය ඊයේ [ජූනි 11] රාත්‍රී 7.48 ට අභාවප්‍රාප්ත වූ බව තායි රාජකීය මාළිගාව අද නිවේදනය කළේය. මිය යන විට ඇය 47 වන වියේ පසුවූවාය.2022 දෙසැම්බර් 15 වන දින නකොන් රචසිමා පළාතේ පාක් චොං හිදී සුරතල් සුනඛයෙකු පුහුණු කරමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් සිහිසුන් වූ කුමරිය හෙලිකොප්ටරයෙන් බැංකොක්හි චුලාලොන්කෝන් රෝහල වෙත ගෙන යන ලදී. එතැන් සිට මිය යන තෙක්ම වසර 3½කට වැඩි කාලයක් ඇය කෝමා තත්ත්වයෙන් පසුවූවාය.මැයි 21 වන දින සිට ඇගේ තත්ත්වය නරක අතට හැරුණේ උදරයේ අභ්‍යන්තර ආසාදනයක්, මහා අන්ත්‍රයේ ප්‍රදාහය, අඩු රුධිර පීඩනය, අරිතිමියාව හෙවත් හෘද ස්පන්දන අක්‍රමිකතාව සහ රුධිර කැටි ගැසීමේ අසාමාන්‍යතා හේතුවෙනි. පෙනහළු සහ වකුගඩු ක්‍රියාකාරීත්වය සඳහා වෛද්‍ය උපකරණ යොදාගෙන තිබුණද අවසානයේ වෛද්‍ය කණ්ඩායමට ඇයගේ ජීවිතය බේරාගත නොහැකි විය.1978 දෙසැම්බර් 7 වන දින එවකට ඔටුන්න හිමි වජිරලොන්කෝන් කුමරුට සහ ඔහුගේ පළමු බිරිඳ සෝම්සවාලි කුමරියට දාව උපත ලැබූ බජ්රකිටියාබා කුමරිය, ‘පා කුමරිය’ නමින් ජනප්‍රිය වූවාය. ඇය කොර්නෙල් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි ලබා 2006-2011 කාලයේ තායි නීතිපති කාර්යාලයේ නීතිඥවරියක ලෙස සේවය කළාය.
2012-2014 කාලයේ ඔස්ට්‍රියාව, ස්ලොවේනියාව සහ ස්ලෝවැකියාව සඳහා තායි තානාපතිනිය ලෙස කටයුතු කළ ඇය, 2017 දී එක්සත් ජාතීන්ගේ අපරාධ වැළැක්වීමේ කොමිසම මගින් අග්නිදිග ආසියාව සඳහා නීතියේ ආධිපත්‍ය පිළිබඳ සුහද තානාපතිනිය ලෙස පත් කරනු ලැබුවාය. 2021 දී හමුදාවට මාරු වූ ඇය ජෙනරාල් නිලය ලබා රාජකීය ආරක්ෂක අණදෙන ඒකකයේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කළාය.කාන්තා සිරකරුවන්ගේ, විශේෂයෙන් ගැබිණි සිරකාරියන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ඇය පුරෝගාමී සේවාවක් ඉටු කළාය. ඇය විසින් ආරම්භ කළ පුණ්‍යායතනයක් මගින් සිරගෙවල්වල සිටින කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගුවාය.රජුගේ අණ පරිදි කුමරියගේ දේහය මහා මාළිගයේ ෆිමන් රත්තයා සිංහාසන ශාලාවේ තැන්පත් කර ඉහළම රාජකීය ගෞරව සහිතව අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය අනුටින් චාර්න්විරකුල් ප්‍රකාශ කළේ “මෙම අහිමිවීම සමස්ත ජාතියේ හදවත්වල මිනුම් කළ නොහැකි ශෝකයක්” බවයි.බජ්රකිටියාබා කුමරිය, සිංහාසනයට නීත්‍යානුකූල හිමිකමක් ඇති රජුගේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වූවාය. ඇගේ අභාවයත් සමග තායි රාජාණ්ඩුවේ අනාගතය පිළිබඳ ප්‍රශ්න තවදුරටත් තීව්‍ර වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී තායිලන්තයේ මව් රැජින 93 වන වියේදී මිය ගියාය.රාජකීය මාළිගාව ප්‍රකාශ කළේ කුමරිය “සාමකාමීව” අභාවප්‍රාප්ත වූ බවයි.

කාලීන පුවත්