දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය ඔක්තෝබර් 2 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ කොටුව සිට පේරාදෙණිය හා ගම්පොළ දක්වා සාමාන්‍ය දුම්රිය කාලසටහන එදින පස්වරුවේ සිට ක්‍රියාත්මක කෙරේ.දිට්වා සුළි කුණාටුවෙන් රඹුක්කන–ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුව තිබූ අතර, ඉන් ස්ථාන 36ක විශාල නායයෑම් සහ තවත් ස්ථාන 67ක පස් කඳු කඩා වැටීම් හා දුම්රිය මාර්ග සේදී යෑම් සිදුව තිබිණි. රඹුක්කන–කඩුගන්නාව මාර්ග කොටසේ දැඩි ආනතිය, විකල්ප සැපයුම් මාර්ග නොමැතිවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු අභියෝගාත්මක වී තිබූ අතර, අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා ද්‍රව්‍ය ද දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උපදෙපාර්තමේන්තුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමඟ එක්ව සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසු මාර්ගය දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත් කර ඇත. ඔක්තෝබර් 3 වැනිදා සිට පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය ද කොළඹ කොටුව–ගම්පොළ අතර දෛනික ධාවනයට එක් කිරීමට නියමිතය.