දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, රත්තොට හා අඹන්ගඟ කෝරලේ, මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය හා බඩල්කුඹුර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙළ, රත්නපුර හා කළවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 16ක් මේ වනවිට වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පවතින වර්ෂාවත් සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කරයි.

කාලීන පුවත්