දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු පරිපාලන හා මෙහෙයුම් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ පැය 48ක සංකේත දුම්රිය වර්ජනයේ දෙවන දිනය අදට (18) යෙදී තිබේ.සැප්තැම්බර් 16 වැනිදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතය. වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය රියැදුරන්, පාලකවරුන්, කැබින් සේවකයන්, ෂන්ටින් සේවකයන්, දුම්රිය වැඩමුළු සේවකයන් ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් එක්ව සිටින බව වාර්තා වේ.වෘත්තීය සමිති පවසන්නේ වර්ජනයේ ප්‍රධාන ඉල්ලීම වන්නේ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා එම ධුරයෙන් ඉවත් කිරීම බවයි. සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනය පිළිබඳ තම විශ්වාසය බිඳවැටී ඇති බවද ඔවුහු පවසති. මීට අමතරව, දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතාගෙන් මාධ්‍ය වෙත කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසමින් නිකුත් කළ ලිපිය ඉවත් කරන ලෙසද වෘත්තීය සමිති ඉල්ලා සිටිති.දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින දුම්රිය අවලංගු වීම්, ප්‍රමාදයන්, එන්ජින් හා මැදිරි හිඟය, තාක්ෂණික ගැටලු, මගී පහසුකම්වල අඩුපාඩු සහ සේවක ගැටලු ඇතුළු කරුණු රැසක් පිළිබඳවද වෘත්තීය සමිති විසින් අවධානය යොමු කර තිබේ. එම ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු නොවන බවටද ඔවුහු චෝදනා කරති.සැප්තැම්බර් 14 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන හා මෙහෙයුම් ගැටලු, සේවක ගැටලු සහ මගී ජනතාවට බලපාන සේවා බිඳවැටීම් පිළිබඳව සාකච්ඡා වී තිබේ. සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇති අතර, එය පිළිගත නොහැකි බව වෘත්තීය සමිති පවසා තිබේ.මේ අතර, වර්ජනය ක්‍රියාත්මක වුවද ඊයේ (17) කාර්යාල දුම්රිය සේවා බොහොමයක් සාමාන්‍ය පරිදි ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. දුම්රිය මෙහෙයුම් අධිකාරිය සඳහන් කර ඇත්තේ නියමිත කාර්යාල දුම්රිය සේවා පවත්වාගෙන යාමට කටයුතු කළ බවයි. කෙසේ වෙතත්, වෘත්තීය සමිති පවසන්නේ වර්ජනය හේතුවෙන් ඇතැම් සේවා සහ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අඩාල වූ බවත්, වර්ජනය ආරම්භ වීමට පෙරද දුම්රිය කිහිපයක් අවලංගු කර තිබූ බවත්ය.දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කවුළු කිහිපයක සේවා අඩාල වීම හේතුවෙන් මගීන්ට විකල්පයක් ලෙස අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකමද හඳුන්වා දී තිබේ. රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට අනුව ‘Pravesha’ වෙබ් අඩවිය සහ ජංගම යෙදුම ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගෙන QR කේතය භාවිතයෙන් දුම්රියට ඇතුළුවිය හැකිය.වෘත්තීය සමිති පවසන්නේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ දුම්රිය දෙපාර්තමේන්තුව වඩාත් කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම සහ මගී ජනතාවට විශ්වාසදායක සේවාවක් ලබාදීම බවයි. ඉල්ලීම් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බවටද වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ.මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසා ඇත්තේ දෙපාර්තමේන්තුවේ විවිධ අංශ සඳහා ප්‍රධාන ඉංජිනේරුවන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කර ඇති බැවින් එම අංශවල තාක්ෂණික කටයුතුවලට තමන් සෘජුව මැදිහත් නොවන බවයි. සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සම්බන්ධ තීරණය රජය විසින් ගත යුතු බවද ඔහු සඳහන් කර තිබේ.ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පැය 48ක සංකේත වර්ජනය අවසන් වීමට නියමිතව තිබුණද, දුම්රිය පරිපාලනය සහ වෘත්තීය සමිති අතර මූලික ගැටලු සඳහා ස්ථිර විසඳුමක් ලැබේද යන්න පිළිබඳ අවධානය යොමුව තිබේ.