නල්ලූර්හි තිලීපන්ගේ ලෝකඩ පිළිරුව පොලිසියෙන් ඉවත් කරයි

යාපනය, නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරක චතුරශ්‍රයේ ස්ථාපිත කර තිබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ ලෝකඩ පිළිරුව පොලිසිය විසින් ඊයේ (27) අලුයම ඉවත් කර රැගෙන ගොස් තිබේ.පොලිස් නිලධාරීන් පිරිසක් අලුයම ස්මාරක පරිශ්‍රයට පැමිණ පිළිරුව ඉවත් කර රථයකින් රැගෙන ගිය බව වාර්තා වන අතර, එම සිද්ධිය ස්මාරක පරිශ්‍රයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශනවලද සටහන්ව ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.පිළිරුව ඉවත් කිරීම සිදුව ඇත්තේ තිලීපන්ගේ මරණයේ 39 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති සැමරුම් කටයුතු අවසන් වී දිනකට පසුවය. තිලීපන් 1987 වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියානු රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් නල්ලූර්හිදී ආහාර වර්ජනයක් ආරම්භ කළ අතර, දින 12කින් පසු මිය ගියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කර ඇති පරිදි, පිළිරුව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු පොදු සාමය පවත්වාගෙන යාම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මෙම පියවර ගෙන තිබේ. කෙසේ වෙතත්, පිළිරුව ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා මතු වී තිබේ. ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතාද ඊයේ නල්ලූර්හි පැවැති විරෝධතාවකට එක්වූ බව වාර්තා වේ. පිළිරුව ඉවත් කිරීමේ නීතිමය පදනම සහ ඒ සම්බන්ධයෙන් ගත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව රජයෙන් හා පොලිසියෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇතැම් දෙමළ දේශපාලන පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

කාලීන පුවත්