ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනියක මෙන්ම රන්වේ හා රූ රැජින තරග පුහුණුකාරිනියක (Pageant Trainer) වූ චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය ඊයේ (31) හදිසියේ අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 46 වැනි වියේ පසුවූවාය.ඇය හදිසියේ රෝගී වීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ මරණයට නිශ්චිත හේතුව මේ වනවිට නිල වශයෙන් තහවුරු වී නොමැත.මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, එහිදී ඉදිරිපත් කෙරෙන සාක්ෂි, පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල සහ අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව මරණයට හේතුව සහ මරණය සිදුවූ ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්රය මෙන්ම රූ රැජින තරග ක්ෂේත්රය තුළ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ චූලා පද්මේන්ද්‍ර මහත්මිය, පසුව නව පරපුරේ නිරූපණ ශිල්පීන් සහ රූ රැජින තරග අපේක්ෂිකාවන් ක්ෂේත්රයට දායක කිරීම සඳහා පුහුණුකාරිනියක ලෙස විශාල මෙහෙයක් ඉටු කළාය. මීට අමතරව ඇය සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස ද ජනප්‍රියත්වයට පත්ව සිටියාය.ඇයගේ හදිසි වියෝව පිළිබඳ පුවත සැලවීමත් සමඟ නිරූපණ, රංගන සහ කලා ක්ෂේත්රයේ බොහෝ දෙනකු දැඩි ශෝකයට පත්ව සිටිති. ඇය සමඟ කලා ක්ෂේත්රයේ කටයුතු කළ ශිල්පීන්, ශිල්පිනියන් සහ ඇයගෙන් ගුරුහරුකම් ලැබූ නවක පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ සිය බලවත් ශෝකය පළ කරමින් ඇයගේ මෙහෙවර හා මතකයන් සිහිපත් කරති.