පක්ෂය තුළ ඇති කුළල් කා ගැනීම් නිසා ශ්‍රීලනිපයට තිබූ නිල පිළිගැනීම අහෝසි වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම පක්ෂයේ පාර්ශ්වයන් වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. නොවැම්බර් 06 වැනිදා පැවති සාකච්ඡාවකින් අනතුරුව පක්ෂයේ පාර්ශ්ව කිහිපයක් ගෙන්වා ප්‍රකාශ කරන ලද මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වයයි. ඒ අනුව, අභ්‍යන්තර අර්බුදය විසඳා නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසු, පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට යළි අලුත් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස කොමිසම දැනුම් දී ඇත.මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරි මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ හැකියාව පක්ෂයට අහිමි වන අතර, පක්ෂ නාමයෙන් හා ලකුණින් තරග කිරීම, අපේක්ෂකයන් නම් කිරීම, රාජ්‍ය විකාශන කාලය සහ ජාතික ලැයිස්තු ආසන වැනි පිළිගත් පක්ෂයකට හිමිවන රාජ්‍ය හිමිකම් සියල්ල යළි ලියාපදිංචි වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අහිමි වේ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් 1951 දී ආරම්භ කර සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන රාජ්‍ය නායකයන් බිහි කරමින් අඩ සියවසකට වැඩි කාලයක් මෙරට දේශපාලනයේ ප්‍රමුඛතාවය දැරූ මෙම වසර 75 ක් පැරණි පක්ෂය, මේ වන විට සිය ඉතිහාසයේ ඉතා තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටී. මෙම පුවත සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහට ලක්වෙමින් පවතින අතර, අර්බුදය විසඳීමට පක්ෂය ගන්නා ඉදිරි පියවර පිළිබඳව අවධානය යොමු වුවද මේ දක්වා පක්ෂයේ පාර්ශ්වයන්ගෙන් නිල ප්‍රතිචාරයක් පළ වී නොමැත.

කාලීන පුවත්