ප්‍රවීණ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය චිත්‍ර කලාවට, තොරණ් කලාවට සහ පුවත්පත් කලාවට නව මානයක් එක් කළ, “මොටාගෙදර සිතුවම් ආර” නම් රේඛාමය චිත්‍ර ශෛලියේ නිර්මාතෘ, ප්‍රවීණ කෘතහස්ත චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න මහතා අද (23) අභාවප්‍රාප්ත විය. මියයන විට 93 වන වියෙහි පසුවූ ඒ මහතා දශක හතකට අධික කාලයක් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය පෝෂණය කළේය.1933 පෙබරවාරි 16 වන දින මාතර දිස්ත්‍රික්කයේ මොටාගෙදර ග්‍රාමයේ උපන් වනිගරත්න මහතා, අබේසිරි නාරායන වනිගරත්න සහ සිරියාවතී දේවනාරායන යුවළගේ දරුවන් නව දෙනාගෙන් වැඩිමලා විය. මොටාගෙදර රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු, පාසල් වියේදීම චිත්‍ර කලාවට දැක්වූ සුවිශේෂී දක්ෂතාව නිසා පන්ති කිහිපයකින් ඉහළට උසස් කරනු ලැබ සිටියේය.1956 ඔක්තෝබර් 3 සිට 5 දක්වා කොළඹ ජාතික කලා භවනයේදී පැවති “මගේ ලංකාව” නම් ඔහුගේ ප්‍රථම ඒකපුද්ගල සිතුවම් ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ එවකට අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අතිනි. සාම්ප්‍රදායික චිත්‍ර ක්‍රමයෙන් ඔබ්බට ගොස්, වෙසක් තොරණ් කලාවට රේඛාමය රිද්මයක් හඳුන්වා දෙමින් ජාතික මට්ටමේ තොරණ් නිර්මාණකරණයට ඔහු පුරෝගාමී විය. ඒ අනුව, වත්මන් වෙසක් සහ පොසොන් තොරණ් චිත්‍ර කලාවේ අද්විතීය නාමයක් හිමි කර ගැනීමට ඔහු සමත්ව තිබේ.චිත්‍ර ශිල්පියකු ලෙස ලංකාදීප පුවත්පතෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ මොටාගෙදර වනිගරත්න මහතා, පසුව දවස පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කළේය. දවස සිරස්තල සඳහා ඔහු නිර්මාණය කළ අකුරු මෝස්තරය මුලින් “මොටා ටයිප්” ලෙස හැඳින්වුණු අතර, එය අද පවා “දවස ටයිප්” නමින් පරිගණක අකුරු අතර ප්‍රචලිතය. “මොටාගෙදර රේඛා රිද්මය – සිතුවම් නිර්මාණ න්‍යාය සංග්‍රහය” කෘතියෙන් ඔහු චිත්‍ර න්‍යාය පිළිබඳ වටිනා ශාස්ත්‍රීය සම්ප්‍රදායක් ඉදිරිපත් කිරීම, ඔහුගේ අතින් සිදු වූ විශිෂ්ට යුග මෙහෙවරකි. තමන්ටම ආවේණික වූ රේඛීය රිද්මය ඔස්සේ සමාජය, සංස්කෘතිය සහ ජන ජීවිතය සිතුවමට නගමින් ශ්‍රී ලාංකීය රසඥතාව පෝෂණය කිරීමට මොටාගෙදර වනිගරත්නයන් කළ මෙහෙවර අනුපමේයය. “මොටාගෙදර සිතුවම් ආර” ලෙස පසුකාලීනව හැඳින්වුණු ඔහුගේ ශෛලිය, එදා මෙදාතුර කාටූන්, තොරණ්, පුවත්පත් පිටු සැරසිලි සහ අකුරු නිර්මාණ හරහා පරම්පරා කිහිපයකට බලපෑම් කොට තිබේ.ඔහුගේ බිරිඳ සීතා රණසිංහ මහත්මිය වූ අතර, ඔවුහු මූර්ති, සංඛ, නිමල් සහ සිවුමල් නම් දරුවන් සිව්දෙනෙකුගේ දෙමාපියෝ වූහ. අභාවප්‍රාප්ත මොටාගෙදර වනිගරත්නයන්ගේ අවසන් කටයුතු පිළිබඳව පවුලේ ඥාතීන් විසින් පසුව දැනුම් දෙනු ඇත.

කාලීන පුවත්