පාස්කු ප්‍රහාරයේ සියලු රහස් ළඟදීම එළි කරනවා

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට සැලසුම් කළ ආකාරය සහ ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළ පිරිස් නැවැත්වූ ආකාරය ඇතුළු සියලු රහස් ළඟදීම හෙළි කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද(14) ප්‍රකාශ කළහ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින 1000ක් පිරීම නිමිත්තෙන් තේවත්ත බැසිලිකාවේ පැවති දේව මෙහෙය අමතමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ සත්‍යය එළියට පැමිණීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවයි.
“දෙවියන් වහන්සේ සත්‍යය හෙළි කිරීම කිසිවකුට නතර කළ නොහැකියි. ප්‍රහාරයෙන් පසු නොසන්සුන්තාවක් ඇති කිරීමට ඇතැම් බලවේග සැලසුම් කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ. මෙය ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු වූ බව ද හෙළි වී තිබේ. “රෝ” ඉන්දීය රහස් ඔත්තු සේවය ලබාදුන් තොරතුරු නොසලකා හැර ඇත.පාස්කු ඉරිදා ප්‍රහාරය නැවැත්වීමට ඇතැම් නිලධාරීන් ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළත් තවත් පිරිසක් එය වැළැක්වූ බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කීය.
“අවුරුදු ගණන් රටේ විවිධ සිද්ධීන් ඇතිවුණා.වෙඩි තැබුවා, මිනිස්සු ගිනිගත්තු ටයර්වලට දැම්මා.ඒවා පිටිපස්සේ හිටපු පාලකයෝ හිතන්නේ හැමදාම ඉවසනවා කියලාද?.පසුගිය 74 රට පාලනය කරපු අය. වසර ගණනාවක් රට ගැඹුරු වළකට තල්ලු කර තිබෙනවා,” කාදිනල් හිමියෝ වැඩිදුරටත් පැවසූහ

කාලීන පුවත්