ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට සුළු මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.බත්තරමුල්ලේ පිහිටි ජාතික යුද ස්මාරකය අසල පැවැති උත්සවයකට සහ ඒ ආශ්රිත කටයුතුවලට බාධා කිරීමේ චෝදනාවකට අදාළව විමර්ශන සඳහා ඒ මහතා අද (25) පෙරවරුවේ තලංගම පොලිසිය හමුවට පැමිණියේය. එහිදී ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි.පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (24) දින ඒ මහතාට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ බවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ ඔහු පොලිසිය වෙත නොපැමිණීම හේතුවෙන්, අද (25) දින අනිවාර්යයෙන්ම තලංගම පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.
ජාතික රණවිරු සැමරුම් කටයුතු හා සබැඳි බත්තරමුල්ල ජාතික යුද ස්මාරකය පරිශ්‍රයේ සිදුවූ උණුසුම් තත්ත්වයක් සහ රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත.අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගෙන් මේ වන විට වැඩිදුර ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින අතර, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව තලංගම පොලිසිය වැඩිදුරටත් පවසයි.