බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සර් කියර් ස්ටාමර් සිය ධුරයෙන් සහ කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.අංක 10 ඩවුනිං වීදිය ඉදිරිපිට මාධ්‍ය අමතමින් ස්ටාමර් කියා සිටියේ, “මගේ පාර්ලිමේන්තු පක්ෂය මගෙන් අසන ප්රශ්නය මම මීළඟ මහා මැතිවරණයට ඔවුන්ව මෙහෙයවීමට සුදුසුම පුද්ගලයාද යන්නයි. ඒ ප්‍රශ්නයට මගේ පාර්ලිමේන්තු පක්ෂයේ පිළිතුර මට ලැබී තිබෙනවා. මම ඒ පිළිතුර යහපත් සිත් ඇත්තෙම පිළිගන්නවා” යනුවෙනි.ස්ටාමර් සඳහන් කළේ සිය ඉල්ලා අස්වීම පිළිබඳව අද උදෑසන මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට දැනුම් දුන් බවයි. ඉරිදා දිනය ඔහු සිය නිල රටේ නිවස වන චෙකර්ස් හිදී පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කරමින් ගත කළ බව ද වාර්තා වේ.2024 ජූලි මස විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයකින් පසුව බලයට පත් වුවද, පසුගිය මාස කිහිපය පුරා කම්කරු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සහ කැබිනට් අමාත්‍යවරුන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය මෙම ඉල්ලා අස්වීමට හේතු වී තිබේ. පළාත් පාලන මැතිවරණවලදී ලද පරාජය සහ ෆැරේජ්ගේ රිෆෝම් UK පක්ෂයේ නැගීම හමුවේ පක්ෂයේ ජනප්‍රියතාව ශීඝ්‍රයෙන් පහත වැටීම ඊට ප්‍රධාන හේතුවක් විය.”හැම තීරණයක්ම මම ගත්තේ මම ආදරය කරන රට පළමුව තබමින්. ඒ නිසයි මම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ඉල්ලා අස්වන්නේ” යැයි හැඟුම්බරව ප්‍රකාශ කළ ස්ටාමර්, සිය බිරිඳ වික්ටෝරියාට ස්තූති කරමින් “හොඳම සැමියා” සහ “හොඳම තාත්තා” වීමට කාලය යොදවන බවද පැවසීය. ඉල්ලා අස්වුවද, නව නායකයෙකු තෝරා ගන්නා තෙක් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව ස්ටාමර් තහවුරු කළේය. කම්කරු පක්ෂයේ නව නායකත්ව තරඟය ජූලි 9 වනදා ආරම්භ වී සැප්තැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිතය.පසුගිය සතියේ මේකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මහා මැන්චෙස්ටර් නගරාධිපති ඇන්ඩි බර්න්හැම් මීළඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති අතර ඔහු ප්‍රධාන අපේක්ෂකයා ලෙස සැලකේ.ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමත් සමඟ බ්‍රිතාන්‍යයට දශකයක් තුළ 7 වන අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට සිදුවනු ඇත. 2016 බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පසු ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ, බොරිස් ජොන්සන්, ලිස් ට්‍රස්, රිෂි සුනක් සහ දැන් කියර් ස්ටාමර් ලෙස නායකත්ව වෙනස්වීම් සිදුවී ඇති අතර, මෙය රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.ස්ටාමර් 2024 දී කම්කරු පක්ෂය වසර 14කට පසු බලයට ගෙන ආ නමුත්, “උද්ධමනය, ජීවන වියදම, රාජ්‍ය සේවා සහ නිවාස” යන ප්‍රශ්න විසඳීමට නොහැකි වීම සහ පක්ෂ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් වසර දෙකකට අඩු කාලයකින් ධුරය අත්හැරීමට සිදුවිය.