මේ ප්‍රතිචාර “පාර දිගේ” රුක්ෂානාට මගෙන් සාධාරණයක් ඉෂ්ඨ වුණු හින්දයි – මහේෂානී මීගහපොල

ඇය රූපයෙන් දක්ෂතාවය ජනප්‍රිය සියලු පැතිකඩයන් හරහා නොමඳ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ නිහතමානී තැනැත්තියකි. මේ දිනවල ස්වර්ණවාහිනීය ඔස්සේ සතියේ දින 6 පුරා ම රාත්‍රී 9.30 ට ඔබේ ආලින්දයට එන රුක්ෂානා එහෙම නැත්නම් පියුමි ශ්‍රීනායකයි.ඇගේ කලා තොරතුරු ගැන විනිවිද අප සමඟ බෙදාගත්තේ මේ අයුරිනි.

  • මොනවද අලුත් අවුරුද්දේ කලාව පැත්තෙන් තියන තොරතුරු ?

මෙතෙක් රඟ නොපාපු චරිතයක් කරන්න ආසාවක් තියෙනවා. 2023 වසරේ ජනවාරි පළමුදා අලුත් වැඩක් කළා. සුනිල් රත්නායක සර් ගේ අලුත් නාට්‍යයකට රංගනයෙන් දායක වෙනවා. ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. වෙනම චරිතයකින් මාව දැක ගන්න පුළුවන් වේවී. තව ටෙලි නාට්‍ය එන්න තියනවා. කරපුවත් තියනවා. පාර දිගේ රූගත වීම් වලට සහභාගී වෙනවා. ඔය වගේ තොරතුරු තමයි කලාව පැත්තෙන් තියෙන්නේ.

  • අපි කතා කළේ කලාව පැත්තෙන් පුද්ගලික ජීවිතයේ අලුත් බලාපොරොත්තු නැද්ද ?

පුද්ගලික ජිවිතය තුළ නම් විශේෂයක් නැහැ. මේ ඉන්න විදියටම ඉන්න කැමතියි. මගේ යූ ටුයුබ් වැනල් එකක් තියනවා. පියුමි ශ්‍රීනායක නමින්. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා දිගටම කරගෙන යන්න තමයි අදහස.

  • සිනමාව පැත්තෙන් නම් තියනවා නේද අලුත් ආරංචියක්

ඔව්. සනත් අයියගේ (සනත් ගුණතිලක) සිනමාපටයක් කළා. ″ගගුලක ගිනියම″ කියලා.මමයි ක්ලීටස් අයියා (ක්ලීටස් මෙන්ඩිස්) තමයි ප්‍රධාන චරිතය. ඒක වෙනස්ම කතාන්දරයක්. එවැනි සිනමා දැවැන්තයන් සමඟ වැඩකිරීම මා ලැබු භාග්‍යයක්.

  • ඔබ පාරදිගේ රුක්ෂානා නිසා මේ දිනවල ගොඩාක් බැනුම් අහනවා නේද ?

මම හිතපු නැති විදියට ඒ චරිතය ජනප්‍රිය වුණා. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩාක් ලැබෙනවා. ඒකට ගොඩාක් සතුටුයි. රුක්ෂානා චරිතයට නම් ගොඩාක් අයගෙන් බැණුම් තමයි අහන්නේ. හැබැයි මුහුණට හම්බවුණාම නම් කියන්නේ නපුරු නැහැ හොඳ ළමයෙක් කියලා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂක තුමා ලබා දීපු කරුණු අනුව තමයි චරිතය ගොඩනඟා ගත්තේ. මම හිතන්නේ රුක්ෂානා චරිතයට සාධාරණයක් වුණ නිසයි එවැනි ප්‍රතිචාර ලැබෙන්නේ. රුක්ෂානාගේ චරිතය ගැන කිව්වොත් සැමියා වෙනුවෙන් සටන් කරන නපුරු ගැහැණියක්.

  • ඔබට ලස්සන රූපයක් තියනවා. රූපය ලස්සනට තියාගන්න මොනව ද අනුගමනය කරන ක්‍රියාවන් ?

මගේ බාහිර රූපය තමයි වටිනාම දෙය. සමට කොණ්ඩයට අවශ්‍ය විටමින් ලබා ගන්නවා. ස්වභාවික ආලේපන, භාවිත කරනවා. බාහිර වගේම අභ්‍යන්තර ලස්සන වීම ගැනත් හිතනවා. ඒසඳහා පෝෂ්‍යදායි ආහාර පාන, ජලය වැඩිපුර පානය, ස්වභාවික පලතුරු යුෂ භාවිතයට ගන්නවා.

  • ලස්සන රූපයක් තිබීමම ප්‍රමාණවක් ද රංගනයට දොර විවර කරගන්න.

නැහැ. අංක එක දක්ෂතාවය. දක්ෂතාවය තමයි රංගන ශිල්පිණියකට ,ශිල්පියෙකුට තිබිය යුතු ප්‍රධානම දෙය.රූපය දක්ෂතාවයට පිටුවහලක් වෙනවා ;කෂේත්‍රය තුළ රැඳීමට .

  • ප්‍රසිද්ධ චරිත මේ වෙද්දි අපේ රටේ පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ විදේශගත වෙනවා .ඔබෙත් එවැනි බලාපොරොත්තුවක් තියනව ද ?

එහෙම බලාපොරොත්තුවක් දැනට නැහැ. තව අවුරුදු 02 කින් වගේ හිතාගෙන ඉන්නවා.

  • ප්‍රේක්ෂක ආදරය කොහොමද ඔබට දැනෙන්නේ ?

ඒ ගැන නම් ගොඩාක් සතුටුයි කියන්න. නවක රංගන ශිල්පීන් සමහරක් සමාජගත වීම් අඩුයි. ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රග පෑ නාට්‍යයක්වත් නිළියකගේ නමවත් නැහැ. අපි රැඳිලා ඉන්නේ ප්‍රේක්ෂක ආදරය මතයි. ගොඩාක් වටිනවා. ඒක මම ලබපු වාසනාවක්.

  • රාවණා ටෙලි නාට්‍යයත් ගොඩාක් ජනප්‍රිය වුණා නේ ද ?

රාවණා ටෙලි චරිතය ගොඩක්ම වෙනස් චරිතයක්. තුෂාර තෙන්නකෝන් සර් තමයි මාව ඒ චරිතයට තෝරා ගත්තේ. ඉසුරු අයියා (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි) එක්ක තමා රඟපාන්නත් තිබුණේ. ඒ දිනවල රංගනයට මම අලුත් වගේම ඒ වගේ චරිතයක් කරලා තිබ්බේ නැහැ. මගේ ජිවිතයේ අමතක නොවන හොඳින්ම රඟ පෑ ප්‍රේක්ෂක ආදරය දිනු චරිතයක්. අධ්‍යක්ෂක තුමා ඇතුළු ඉසුරු අයියා චරිතය ගොඩනංවා ගන්න උදව් කළා.

  • අද වන විට සම්මානීය චරිතයක් වීම වගේම සම්මාන උත්සව ගැන රංගන ශීල්පිණීයක් ලෙස දරණ අදහස කිව්වොත්?

සම්මාන ලැබිය යුතු නළු නිළියන් කිහිප දෙනෙකුව ඉදිරියට යොමු කරලා ඒ අයටත් සම්මාන ලබා දෙන ගමන් මුදල් වලටත් විකිණෙන සම්මාන ඒ ඇතුලේ තියනවා. මුළු රටම මුදලට විකිණෙද්දී සම්මාන විකිණෙනවා. ඒක සුළු දෙයක්. ඒ නිසා ඒ ගැන නම් කතා කිරීම වැඩක් නැහැ කියලා මම හිතනවා. මතකයේ වත් නැති ටෙලිනාට්‍ය නිළියන්ට ජනප්‍රිය සම්මාන ලැබෙනවා. නමවත් අහලා හුරු නැහැ. සම්මාන ලැබිය යුතු පිරිස ලිස්ට් එකේ හිටියට ඔවුන්ට ලැබෙන්නෙ නැහැ. මම කියන්නේ ඒ දේවල් සාධාරණ වීම ගොඩාක් වටිනවා.

  • ඔබේ කලා ගමනට උදව් කළ අය මතක් කළොත් ?

සුදාර ද සිල්වා අයියා මතක් කරන්න ඔනි. එයා තමයි මාව මුලින්ම ටෙලිනාට්‍යයකට කතා කළේ. ඊට පසු සුසිල නිෂ්පාදන ආයතනය ජනක සම්පත්, ඉන්දික ධර්මතිලක ,හෂාන් සුමීර මගේ පළමු අධ්‍යක්ෂතුමා. මුලික අඩිතාලම දාලා දුන්න පිරිස ඔවුන් තමයි .ඊට පසු ගොඩාක් පිරිසක් ඉන්නවා. මම මේ අවස්ථාවේ ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

මහේෂානී මීගහපොල

රසගඟුල