ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සලකා බලමින් මෙරට වෙළෙඳපොළේ පවතින ඖෂධවල මිල ගණන් ඉහළ දැමීමේ අවශ්‍යතාව කෙරෙහි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) දැඩි අවධානය යොමු වී තිබේ.පවතින ආර්ථික තත්ත්වය හමුවේ ආනයනික ඖෂධ මෙන්ම දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සඳහා ද වැය වන නිෂ්පාදන හා සැපයුම් පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් ඖෂධ මිල සංශෝධනයක් සිදු කිරීම සඳහා වන මූලික පියවර මේ වන විටත් ආරම්භ කර ඇති බව සභාපතිවරයා සනාථ කළේය.මිල සංශෝධන ක්‍රියාවලියට අදාළ නීතිමය සහ පරිපාලනමය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බව පෙන්වා දෙන සභාපතිවරයා, මීට පෙර ගැසට් නිවේදන මගින් උපරිම සිල්ලර මිල (MRP) නියම කර තිබූ ඖෂධ කාණ්ඩ 60ක පමණ මිල ගණන් මෙම යෝජිත මිල සංශෝධනය යටතේ යළි සලකා බැලීමට නියමිත බව ද සඳහන් කළේය.රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සමස්ත ඖෂධ ක්ෂේත්රයේම පිරිවැය ව්‍යුහය ඉහළ ගොස් ඇති අතර, එහි සෘජු බලපෑම ඖෂධ මිල තීරණය කිරීමේ ක්‍රියාවලියට එල්ල වී ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.මෙරට භාවිත වන ඖෂධවලින් බහුතරයක් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන ඒවා බැවින්, විදේශ විනිමය අනුපාතයන්හි සිදුවන උච්චාවචනයන් ඖෂධ මිල කෙරෙහි සෘජුවම බලපාන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවධාරණය කරයි.කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ වෙළෙඳපොළේ පවතින සියලුම ඖෂධ වර්ගවල මිල ඉහළ දැමීමක් සිදු නොවන බව ද සභාපතිවරයා මෙහිදී සහතික විය. පවතින වෙළෙඳපොළ අවශ්‍යතාව සහ පිරිවැය තත්ත්වයන් මැනවින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, තෝරාගත් ඖෂධ වර්ග කිහිපයක මිල පමණක් ඉහළ යාමට ඉඩ ඇති බව පෙන්වා දුන් ඒ මහතා, වගකිවයුතු බලධාරීන් මේ වන විටත් ඒ පිළිබඳව දැඩි අධ්‍යයනයක නිරත වෙමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය.