වන අලි මිනිස් ගැටුම හමුවේ වන අලින්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන තවදුරටත් පහව ගොස් නැති බව තහවුරු කරමින් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලියකු මියගොස් තිබේ. මේ අතර, සුප්‍රකට අග්බෝ හස්තියා ගැවසෙන ප්‍රදේශයේදී ඔහු ඉලක්ක කර සවි කර තිබූ බවට සැක කෙරෙන බඳින තුවක්කුවක් ද වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන අක්‍රිය කර ඇත.ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ වනජීවී බීට්ටු බලප්‍රදේශයට අයත් කුඩාවිල හා බෑනාපුර ගම්මාන මායිමේ පිහිටි නිවසක ගෙවත්ත සහ වගාබිම ආවරණය වන පරිදි ඇද තිබූ ප්‍රමිතියෙන් තොර අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පළමු වන අලියා මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ උසින් අඩි හතක් පමණ වන, වයස අවුරුදු 15ත් 20ත් අතර පසුවන සවිමත් වන අලියෙකි. අදාළ ඉඩමේ වගාවන් වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ඉඩම් හිමියා විසින් මෙම අනවසර විදුලි රැහැන සවිකර තිබූ බව වනජීවී නිලධාරීන්ගේ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ උල්හිටිය වනසත්ත්ව අඩවි ආරක්ෂක ඉන්දික රණතුංග මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් අනවසරයෙන් විදුලි රැහැන සවිකළ බවට සැක කෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කර ඇත.මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.මේ අතර, අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේ නොච්චිකුලම වැව ආසන්නයේ බඩඉරිඟු වගාබිමක් අසල ගැවසෙමින් සිටි අග්බෝ හස්තියාට මරණීය තර්ජනයක් විය හැකි බඳින තුවක්කුවක් සොයා ගැනීමට වනජීවී නිලධාරීහු සමත්ව සිටිති.අග්බෝ හස්තියාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන සෝදිසි මෙහෙයුම් අතරතුර තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් සෙනසුරාදා සිදුකළ මුර සංචාරයකදී මෙම අනතුරුදායක උගුල සොයාගෙන තිබේ.එහිදී බඩඉරිඟු වගාව ආසන්නයේ අග්බෝ හස්තියා ගැවසෙනු නිරීක්ෂණය කළ නිලධාරීන් එම පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී එක් නිලධාරියකුගේ පාදයක බඳින තුවක්කුවට සම්බන්ධ කර තිබූ ඇදිනූලක් පැටලී ඇත. ඒ සමඟම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් අදාළ උගුල ආරක්ෂිතව අක්‍රිය කිරීමට පියවර ගෙන තිබේ.පසුව ඊයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමකදී ඒ ආසන්නයේ වගාබිමක පිහිටි පැලක් තුළ තිබී බඳින තුවක්කු සවි කිරීම සඳහා යොදාගන්නා උපකරණ රැසක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇත. එහි සිටි පුද්ගලයකු ද සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.වන අලින්ගෙන් බඩඉරිඟු වගාව ආරක්ෂා කරගැනීම සඳහා අලින් ඉලක්ක කරමින් පොළොවෙන් අඩියක් පමණ උසින් මෙම බඳින තුවක්කුව සවිකළ බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.වන අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාව සාධාරණ වුවද ඒ සඳහා අනවසර විදුලි රැහැන් ඇදීම සහ බඳින තුවක්කු ඇටවීම වැනි මාරක ක්‍රියාමාර්ග යොදාගැනීමෙන් සිදුවන්නේ වනජීවී සම්පතට පමණක් නොව මිනිස් ජීවිතවලට ද බරපතළ තර්ජනයක් එල්ල වීමය. ගිරාඳුරුකෝට්ටේදී වන අලියකුට ජීවිතය අහිමිවීමත්, අග්බෝ හස්තියාට එල්ල වී තිබූ මරණීය තර්ජනයක් අවසන් මොහොතේ වළක්වා ගැනීමට හැකිවීමත්, වන අලි මිනිස් ගැටුම පාලනය කිරීමේදී නීතිවිරෝධී හා අනාරක්ෂිත ක්‍රියාමාර්ග වෙනුවට විධිමත් විසඳුම්වල අවශ්‍යතාව යළිත් අවධාරණය කරයි.