
ජලභීතිකා උවදුර පිටුදැකීම පිණිස මහමඟ වෙසෙන අසරණ සුනඛයන්ට ආහාර නොදිය යුතු බවටත්, එසේ ආහාර දෙන්නේ නම් එම සුනඛයන්ගේ වගකීම භාරගත යුතු බවටත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පසුගිය දා සිදු කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩු දී තිබේ. නාගරීකරණය වේගයෙන් ඉහළ යන අප රටේ, වඩාත්ම නොසලකා හරින ලද නමුත් වඩාත්ම දෘශ්‍යමාන අර්බුදයක් වන්නේ වීදි සුනඛ අර්බුදයයි. මෙය සුනඛයන් විසින් ඇති කරන ලද අර්බුදයක් නොවේ. මෙය මිනිසුන් විසින් දියත් කොට, නඩත්තු කරගෙන යනු ලබන අර්බුදයකි. නමුත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා පවසන අන්දමට ඒ සඳහා විසඳුම උන් කුසගින්නේ තැබීම නොවේ. එය විසඳුමක් නොව, ගැටලුව තවත් උග්‍ර කරන අමානුෂික මානසිකත්වයකි.
නිවාස අහිමි, මහමඟ ජීවත් වන සතෙකුට ආහාර දීම නැවැත්වීමෙන් ගහනය පාලනය වන්නේ නැත. විද්‍යාව එය ඔප්පු කර ඇත. ඉන් සිදු වන්නේ කුසගින්නේ සිටින සතා කුණු ගොඩවල් අවුස්සා රෝග පැතිරවීම, වඩාත් ආක්‍රමණශීලී කාණ්ඩයකට (ෆෙරල් ඩොග්ස් – Feral Dogs) හැරීම සහ අවසානයේ ඉන් කොටසක් වේදනාකාරී මරණයකට ගොදුරු වීම පමණි. කුසගින්න කිසිදා ජනගහන පාලන ක්‍රමයක් වී නැත. එසේ නම් සැබෑ විසඳුම පවතින්නේ විධිමත් හා මානුෂීය කළමනාකරණය තුළය. ඒ සඳහා ලෝකය පුරා පිළිගත් එකම විද්‍යාත්මක ක්‍රමය වන්නේ CNVR ක්‍රමයයි. එනම් – Catch, Neuter, Vaccinate, Return හෙවත් අල්ලා, වන්ධ්‍යාකරණය කර, එන්නත් කර, නැවත මුදා හැරීම ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය (WOAH) යන ආයතන දෙකම නිර්දේශ කරන්නේ ද මෙයයි. මෙමඟින් සතුන් මරා දැමීමකින් තොරව ගහනය ස්ථාවර කර, ජලභීතිකාව වැනි මාරාන්තික රෝග පාලනය කළ හැක. ඒ හැර අධ්යක්ෂ ජනරාල්වරයා පවසන නිරාහාර ක්‍රමය ඔහුගේම තියරියක් විය යුතුය.
ශ්‍රී ලංකාවේ මෙම CNVR වගකීම නීතියෙන්ම පැවරුණේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට (Department of Animal Production and Health – DAPH) ය. එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන දර්ශකයටම සුනඛ වන්ද්‍යාකරණ සහ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන් ඇතුළත්ය. එහෙත් එහි ප්‍රායෝගික තත්ත්වය ඊට වෙනස්ය.

සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) ශ්‍රී ලංකාවේ සත්ව සෞඛ්‍ය, සත්ව නිෂ්පාදනය සහ පශු වෛද්‍ය සේවා සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතනයයි. එහි ප්‍රධාන වගකීම් අතරට ගව, මී, එළු, ඌරු, කුකුළු ඇතුළු ගොවිපොළ සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, සත්ව රෝග නිරීක්ෂණය, සත්ව නිෂ්පාදනය වැඩිදියුණු කිරීම, පශු වෛද්‍ය සේවා සැපයීම, සත්ව ආනයන අපනයන සඳහා සෞඛ්‍ය සහතික නිකුත් කිරීම සහ සත්ව සුබසාධනය (Animal Welfare) සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අයත් වේ.
ප්‍රායෝගිකව ජලභීතිකා මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ DAPH හි පළාත් සහ දිස්ත්‍රික් පශු වෛද්‍ය කාර්යාල, පළාත් පාලන ආයතන සහ සත්ව සුබසාධන සංවිධාන එක්ව සංවිධානය කරන ජංගම එන්නත්කරණ වැඩසටහන් හරහාය. සුනඛයන්ට සහ බළලුන්ට නොමිලේ හෝ සහනදායී මිලකට එන්නත් ලබාදීම සහ Catch-Neuter-Vaccinate-Release (CNVR) වැඩසටහන් ද එහි කාර්යභාරයට අයත් වේ. නමුත් එහි අධ්යක්ෂ ජනරාල්වරයා ඒ බවක් නොදන්නාක් මෙන් කතා කිරීම අපට ගැටලුවකටත් වඩා ළඟා වන්නේ විහිළුවකට ය.

ශ්‍රී ලංකාවේ වීදි සුනඛ ගහනය ලක්ෂ 20 ඉක්මවා ඇති බවට ඇස්තමේන්තු කර ඇත. එය සෑම පුද්ගලයන් 8 දෙනෙකුටම එක් සුනඛයෙකු සිටින තත්ත්වයකි. එමෙන්ම වසරකට සුනඛ සපාකෑම් 250,000ක් පමණ වාර්තා වේ.
1975 දී 377ක්ව තිබූ ජලභීතිකා මරණ සංඛ්‍යාව 2013 වන විට 28 දක්වා අඩු කිරීමට අප සමත් වුවද, එතැන් සිට ප්‍රගතිය ඇණහිට ඇත. 2024 දී මරණ 20ක් සහ 2025 දී මරණ 14ක් වාර්තා වී ඇත. ජලභීතිකා මරණවලින් 99%ක්ම සුනඛ සපාකෑම් නිසා සිදු වේ. නමුත් ඒ සම්බන්ධයෙන් අනාවරණය වන වැදගත්ම කරුණක් වන්නේ, එම සපාකෑම් සහ ජලභීතිකා මරණවලින් බහුතරය මහමඟ වෙසෙන අසරණ සුනඛයන් නිසා නොව ගෘහස්ථ සුනඛයන් නිසා සිදු වීම ය.

සාර්ථක සුනඛ ගහන පාලනයක් සඳහා වසරකට අවම වශයෙන් සුනඛ ගහනයෙන් 70%ක්වත් වන්ද්‍යාකරණය කළ යුතු බව විද්‍යාත්මක නිර්දේශයයි. එහෙත් වර්තමානයේ සිදු වන්නේ ඉතා අල්ප ප්රමාණයකි. රජය ජලභීතිකා පාලනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 5කට වඩා වියදම් කරයි. එහෙත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බොහෝ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල වසර ගණනාවකින් ජංගම වන්ද්‍යාකරණ සායනයක් පවත්වා නැත. හේතුව ලෙස දක්වන්නේ “අයවැය නැත, වාහන නැත, පශු වෛද්‍යවරුන් නැත” යන නිදහසට කරුණු පමණි. පසුගිය කාලය තුළ ජාතික සුනඛ වන්ද්‍යාකරණ සහ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතුණ ද, එම අමාත්‍යාංශය යටතේ පශු වෛද්‍යවරුන් නොමැති වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය කොන්ත්‍රාත් ක්‍රමයට ඔවුන් බඳවා ගත්තේය. මේ නිසාම 2025 දී ජාතික සුනඛ වන්ද්‍යාකරණ සහ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගලවා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කළේය. එයින් පෙනෙන්නේ පවතින ක්රමයේ අසාර්ථකත්වය රජය විසින්ම පිළිගෙන ඇති බවයි. මෙම අර්බුදය තවත් උග්‍ර කරන කරුණක් වන්නේ පශු වෛද්‍ය සම්පතේ හිඟයයි. 2026 අප්‍රේල් 1 වන දින වන විට ශ්‍රී ලංකාවේ පශු වෛද්‍යවරුන් සිටින්නේ 315 දෙනෙකු පමණක් වන අතර, එය 2023 වසරට සාපේක්ෂව 7.48% ක වර්ධනයකි. මෙම ස්ථාන අතුරින් 300 දෙනෙකු, එනම් 95.24% ක්ම තනි හිමිකාරීත්වය යටතේ පවත්වාගෙන යනු ලබන අතර, ඉතිරි 15 දෙනා (4.76%) විශාල සන්නාමයන්ට අයත් වේ. වැඩිම පශු වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සිටින ප්‍රමුඛතම පළාත් තුන වන්නේ පශු වෛද්‍යවරුන් 139 දෙනෙකු සිටින බස්නාහිර පළාත, 35 දෙනෙකු සිටින මධ්‍යම පළාත සහ 32 දෙනෙකු සිටින දකුණු පළාතයි. පශු වෛද්‍ය සායනයක සාමාන්‍ය පැවැත්මේ කාලය අවුරුදු 3ක් සහ මාස 8කි. මේ සංඛ්‍යාලේඛන පෙන්වන්නේ පවතින සම්පත පවා අසමානව බෙදී ඇති බවයි.

මෙම අර්බුදය එක් දෙපාර්තමේන්තුවකට පමණක් විසඳිය නොහැකි බව ඒකාන්ත සත්‍යයකි. ඒ සඳහා අප්‍රමාදව කළ යුතු පියවර දෙකක් තිබේ.
ඉන් පළමුවැන්න නීතිය තදින් ක්‍රියාත්මක කිරීමය. අද වීදි සුනඛයන්ගෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් යනු කලක් සුරතලයට ඇති කර පසුව මහමඟට දමන ලද සතුන් සහ ඔවුන්ගේ පැටවුන්ය. සතෙකු මහමඟට දැමීම සත්ත්ව සුබසාධන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් එම නීතිය ක්‍රියාත්මක වන්නේ කලාතුරකිනි. බලු පැටවුන් පෙට්ටිවල දමා පාර අයිනේ දමන, වාහනවලින් ගෙනැවිත් දමන පුද්ගලයන් CCTV හරහා හඳුනාගෙන දඬුවම් කිරීම ආරම්භ කළ යුතුය. ඒ සඳහා පළාත් පාලන ආයතනවලට බලය සහ තාක්ෂණය ලබා දිය යුතුය.
එමෙන්ම මෙම ක්‍රියාවලිය සඳහා අවංක හවුල්කාරිත්වයක් ගොඩනැගීම ද අවශ්‍යම කරුණකි. රජයේ වගකිව යුතු අංශ; එනම් සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව; සහ සැබවින්ම සේවය කරන, සත්ව සුබසාධනයේ නාමයෙන් මුදල් නොගරන ස්වේච්ඡා සංවිධාන හා පශු වෛද්‍යවරුන් එක්ව ජාතික තිරසාර කළමනාකරණ සැලසුමක් සකස් කළ යුතුය.
2022-2026 ජලභීතිකා තුරන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්මේ ද අවධාරණය කර ඇත්තේ මෙම බහුවිධ සහයෝගීතාවයයි. එහිදී සෑම දිස්ත්‍රික්කයකම ස්ථිර CNVR මධ්‍යස්ථාන පිහිටුවීම, පාසල් විෂය නිර්දේශයට වගකීම් සහගත සුරතල් සතුන් ඇති කිරීම ඇතුළත් කිරීම සහ ප්‍රජාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම ජලභීතිකා පාලනයේ ප්‍රධාන වගකීම බෙදී යන ආකාරය අප තේරුම් ගත යුතුය:
DAPH – සතුන්ට ජලභීතිකා එන්නත් කිරීම, සත්ව රෝග නිරීක්ෂණය, පශු වෛද්‍ය සේවා සහ සත්ව ජනගහන පාලන වැඩසටහන්.
සෞඛ්‍ය අමාත්‍යාංශය – ජලභීතිකාවට නිරාවරණය වූ මිනිසුන්ට ප්‍රතිකාර කිරීම (Post-Exposure Prophylaxis) සහ මිනිස් සෞඛ්‍ය අංශය.
පළාත් පාලන ආයතන – ප්‍රාදේශීය මට්ටමේ ජලභීතිකා මර්දන සහ වීදි සුනඛ කළමනාකරණ වැඩසටහන්.
ඒ අනුව, ජලභීතිකා මර්දන එන්නත් ලබාදීම සහ සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් DAPH හි කාර්යභාරයට අයත් වන අතර, ඒවා බොහෝ විට වෙනත් රාජ්‍ය ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු වේ.
අවාසනාවකට, අද සිදු වන්නේ එම ඒකාබද්ධ වගකීම පැහැර හැර, වගකීම මහමඟ වෙසෙන සතාට කෑම දෙන අසරණ මිනිසා මත පැටවීම බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ එම ප්‍රකාශයෙන් මනාව පැහැදිලිය. ඒ අනුව අපට හැඟී යන්නේ ඔහු තම වගකීම් අනුන් පිට පටවා ඇඟ බේරා ගැනීමේ උපන් හපනකු බවයි. මෙය හරියට බයිබලයේ මතෙව් සුභාරංචියේ විසි හත්වන පරිච්ඡේදයේ එන පිලාත් තමාගේ අත සෝදා ගැනීමට සමාන ක්‍රියාවකි. ඒ අනුව ඔහුගේ ඉදිරි වගකීම් සහ වගවීම් පිළිබඳ බරපතළ ගැටලුවක් අප තුළ තිබේ. අසරණ සතෙකුට බත් පිඩක් දීම මිනිස්කමේ ලක්ෂණයකි. ඒ අනුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ ඉහත ප්‍රකාශය සමාජීය කුණු බක්කියට හෙළා, ශ්‍රේෂ්ඨතම ඉන්දීය ජන නායකයකුගේ මෙම ප්‍රකාශය මත පදනම්ව කටයුතු කිරීම අප කාගේත් පොදු වගකීමකි.
“The greatness of a nation and its moral progress can be judged by the way its animals are treated.” (ජාතියක ශිෂ්ඨත්වය සහ සදාචාරාත්මක ප්‍රගතිය මැනිය හැක්කේ එම ජාතිය සතුන්ට සලකන ආකාරයෙනි)
රීටා ජෙනට් පෙරේරා