අවිධිමත් ක්රම මගින් ලබාගෙන ඇති සිම් කාඩ්පත් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී ක්රියාකාරකම්වල ඉහළ යාමක් වාර්තා වී ඇති බැවින්, සිම් කාඩ්පත් ලියාපදිංචිය තවදුරටත් දැඩි ලෙස නියාමනය කිරීමට පියවර ගන්නා බව ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.එහි අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකදී මේ බව සඳහන් කර තිබේ. පොලීසිය ඇතුළු නීතිය ක්රියාත්මක කරන ආයතනවල ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සිම් කාඩ්පත් ලියාපදිංචියට අදාළ රෙගුලාසි යාවත්කාලීන කර ඇති බවද ඒ මහතා සඳහන් කර ඇත.ඒ අනුව, මෙම වසර අවසානයේ සිට අලුතින් සිම් කාඩ්පතක් ලබාගන්නා පුද්ගලයන්ගේ අනන්යතාව තහවුරු කිරීම සඳහා සජීවී ඡායාරූපයක් (ළිවෙ ඵ්හොටෝ ලබාගැනීමේ ක්රමවේදයක් හඳුන්වාදීමට නියමිතය. 2027 වසර වන විට දැනට භාවිත වන සිම් කාඩ්පත් ඇතුළුව සියලුම සිම් පාරිභෝගිකයන් නිශ්චිතව හඳුනාගත හැකි වන පරිදි සියයට සියයක අනන්යතා තහවුරු කිරීමක් සහතික කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද වාර්තා වේ.දැනටත් ශ්රී ලංකාවේ සිම් කාඩ්පතක් ලියාපදිංචි කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය, ස්ථිර ලිපිනය සහ අනන්යතා තහවුරු කරන ලේඛන ලබාගැනීම සඳහා රෙගුලාසි පවතී. අදාළ රෙගුලාසි යටතේ සිම් කාඩ්පත සක්රිය කිරීමට පෙර ග්රාහකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ක්රියාකරුගේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමද අවශ්ය වේ.නව ක්රමවේදය හඳුන්වාදීමෙන් වෙනත් පුද්ගලයන්ගේ අනන්යතා තොරතුරු භාවිත කරමින් හෝ අවිධිමත් මාර්ග ඔස්සේ ලබාගත් සිම් කාඩ්පත් භාවිත කිරීමෙන් සිදුකරන අපරාධ හා වෙනත් නීතිවිරෝධී ක්රියාකාරකම් අවම කිරීමට අපේක්ෂා කෙරේ.