
බෙලිහුල්ඔය සංචාරක හෝටල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් හා බෙලිහුල්ඔය සෆාරි ජීප් හිමිකරුවන් ගේ බලපෑම මත ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති, ඒ. එම්. සුගත් අමරසිරි බණ්ඩාර සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත පුෂ්පකුමාර යන අය ගේ යෝජනාවක් ලෙස බෙලිහුල්ඔය, ගලගම, නැග්රැක්, නන්පේරියල් වත්ත හරහා හෝර්ටන් තැන්න දක්වා පිවිසීමට අලුතින් මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වේ. මෙම යෝජනාව පසුගිය දා පරිසර අමාත්‍යවරයා සමඟ කල්තොට දී පැවති රැස්වීමේ දී ඉදිරිපත් කරනු ලැබුවේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් ඩී. පී. ජී. රේණුකා විසිනි. ප්‍රාදේශීය සභා සභාපතිවරයා හා ප්‍රාදේශීය ලේකම්වරිය එක් ව මෙම යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සූදානම් වේ.
පසුගිය රජය පැවති සමයේ දී බෙලිහුල්ඔය ඉඩම් ජාවාරමේ නිරත ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ගේ අවශ්‍යතාව මත ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ශ්‍රී ලාල් සෙනරත් ගේ යෝජනාවක් ලෙස නන්පේරියල් වත්ත හරහා හෝර්ටන් තැන්න දක්වා පිවිසීමට කිලෝමීටර 10 ක් දිග මාර්ගයක් ඉදි කිරීමට සූදානම් විය. ඒ අනුව නැග්රැක් දක්වා වාහනයකින් පිවිසිය හැකි පරිදි මාර්ගය සකස් කර එතැන් සිට පා ගමනින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දක්වා පිවිසීමට හැකි වන පරිදි මෙම මාර්ගය ඉදි කිරීමට යෝජනා විය. එය සාධාරනීකරණය කිරීම සඳහා ඔවුන් සඳහන් කළේ මෙම මාර්ගය ඉංග්‍රීසි ජාතික වතු පාලකයකු වූ හෝර්ටන් තැන්නේ අලි-ඇතුන් ඝාතනය කිරීමට දායකත්වය ලබා දුන් සැමුවෙල් බේකර්ස් විසින් භාවිත කළ මාර්ගය මෙය බව ය. වත්මන් රජය යටතේ සිදු කිරීමට උත්සාහ දරන්නේ ද ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු ගේ අවශ්‍යතාව මත සකස් කිරීමට සූදානම් වූ එම මාර්ගය ම ය. ඒ අනුව පෙනී යන්නේ ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතා වෙනුවෙන් වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රිවරු ද පෙනී සිටින බව ය.
ආරක්ෂිත වනාන්තර හතරක් ඔස්සේ මාර්ගය සකස් කිරීම
මෙම සැලැසුමට අනුව බෙලිහුල්ඔය, ගලගම ගම්මානයේ සිට නැග්රැක් ගම්මානය ඔස්සේ නම්පේරියල් වත්ත දක්වා ආරක්ෂිත වනාන්තර හා තේ වතු හරහා කිලෝමීටර 6 ක් පමණ දිගින් යුත් මාර්ගය සකස් කරන අතර නම්පේරියල් වත්තේ පිහිටි වතු බංගලාවේ සිට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ කිලෝමීටර 4 ක් පමණ වනාන්තරය ඔස්සේ මාර්ගය සකස් කිරීමට සූදානම් වේ. ගලගම ගම්මානයෙන් පසු ව වන සංරක්ෂණ ආඥා පනත යටතේ පාලනය වන රත්තනගොල්ල වනාන්තරය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශිත පීක් විල්ඩනස් (ශ්‍රී පාද අඩවිය) අභය භූමිය සහ සමනල අඩවිය ස්වභාව රක්ෂිතය හරහා හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය දක්වා මාර්ගය සකස් කිරීමට නියමිත ව ඇත. එම සම්පූර්ණ වනාන්තර පද්ධතිය ඉහළ කඳුකර වනාන්තර වලින් සමන්විත වන අතර ඉතා ම සංවේදී, දුර්ලභ හා ආවේණික ජීවී විශේෂ රාශියක් ජීවත්වන ප්රදේශයකි. මෙම මාර්ග සකස් කිරීමත් සමඟ සුවිශේෂී වනාන්තර පද්ධතියක් ඛණ්ඩනය වීම හා ස්වාභාවික වාසස්ථානවලට බාහිරින් ඇති වන බලපෑම් වර්ධනය වී සංවේ දී හා ආවේණික ජීවී විශේෂවල පැවැත්මට අහිතකර බලපෑම් ඇති වීම සිදු වනු ඇත.

වනජීවී සංරක්ෂණ පනත් උල්ලංඝනය කිරීම
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ප්‍රකාශිත හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය හා සමනල අඩවිය ස්වභාව රක්ෂිතය යන ජාතික රක්ෂිත දෙකක් ඔස්සේ මෙම මාර්ගය ඉදි කිරීමට ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව උත්සාහ කරයි. නමුත් ජාතික උද්‍යානයක් හෝ ස්වභාව රක්ෂිතයක් ඇතුළත පහසුකම් හා සේවා පාලනය සහ කළමනාකරණය සිදු කළ යුතු වන්නේ පනතේ 2අ වගන්තියට අනුව වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා ගේ පාලනයට යටත් ව ය. මෙම පනත යටතේ ප්‍රකාශිත රක්ෂිතයක් තුළ සියලු සැලැසුම් 2අ(1), (2) හා (3) වගන්තිවලට අනුව වනජීවී අධ්යක්ෂ ජනරාල් විසින් පත් කරන කළමනාකරණ සැලැසුම් කමිටුවක් විසින් සකස් කර, අදාළ විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයා ගේ අනුමැතියට යටත් ව ක්‍රියාත්මක විය යුතු ය. එවන් නීතිමය තත්ත්වයන් පවතිද්දී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගේ හෝ ප්‍රාදේශීය ලේකම්වරිය ගේ අභිමතය පරිදි ව්‍යාපාරිකයන් ගේ උවමනාවන් වෙනුවෙන් වනජීවී රක්ෂිත භාවිත කළ නොහැකි ය.
එපමණක් නොව වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 6(1) වගන්තියට අනුව ජාතික උද්‍යානයක් තුළ හෝ ස්වභාව රක්ෂිතයක් තුළ මාර්ග සකස් කිරීම හෝ සකස් කළ මාර්ග භාවිත කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. එවන් වරදකට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකුට රුපියල් 20,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බණ්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය.
මීට අමතර ව ජාතික උද්‍යානයක හෝ ස්වභාව රක්ෂිතයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ මාර්ග ඉදි කිරීම ඇතුළු යම් සංවර්ධන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. මෙවන් නීතිමය තත්ත්වයන් රැසක් යටතේ මෙම රක්ෂිත වනාන්තර පාලනය වන්නේ මේවායෙහි පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක, දේශගුණික, භූ විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක වටිනාකම් හේතුවෙනි.
ස්වාභාවික ලෝක උරුම වැනසීම
මේ ආකාරයෙන් හෝර්ටන් තැන්න වනාන්තර හා තෘණ බිම් පද්ධතියේ පවතින අධික වටිනාකම් හේතුවෙන් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 1969 දෙසැම්බර් 05 වන දින අංක 14883 දරන ගැසට් නිවේදනය ම`ඟින් හෝර්ටන් තැන්න ස්වභාව රක්ෂිතයක් ලෙස පළමු ව ප්‍රකාශයට පත් කර තිබේ. පසුව 1988 මාර්තු 16 වන දින අංක 497/10 දරන ගැසට් නිවේදනය මඟින් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයක් ලෙස මෙම පනතේ 2(1) වගන්තියට අනුව ප්‍රකාශයට පත් කෙරින. එසේ ප්‍රකාශයට පත් කළ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 3159.8 කි. මෙම වනෝද්‍යානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මීටර 1800 සිට 2395 දක්වා වූ උච්චත්ව පරාසය තුළ ව්‍යාප්ත ව ඇත.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ ලංකාවේ උසින් දෙවන හා තෙවන ස්ථාන හිමි කඳුවැටි පිහිටා තිබේ. හෝර්ටන් තැන්නේ බටහිර මායිමේ උසින් දෙවන කන්ද වන කිරිගල්පොත්ත පිහිටා ඇත. මෙහි උස මීටර් 2395 කි. උතුරු මායිමේ උසින් තෙවන ස්ථානය හිමි තොටපල කන්ද පිහිටා තිබේ. එහි උස මීටර් 2357 කි. දකුණු මායිම වන්නේ බලංගොඩ සානුව යි. මීටර් 277 කින් යුත් කුඩා ලෝකාන්තය හා මීටර් 884 කින් යුත් මහ ලෝකාන්තය වනෝද්‍යානයේ දකුණු මායිම ලෙස පිහිටා තිබේ.

අද වන විට හෝර්ටන් තැන්නේ පාරිසරික, ජෛව විද්‍යාත්මක, භූ විද්‍යාත්මක, ජල විද්‍යාත්මක හා පුරා පාරිසරික වටිනාකම අන්තර්ජාතික වශයෙන් ද අවධානයට ලක් වී ඇත. එබැවින් 2010 ජූලි 30 වන දින හෝර්ටන් තැන්න හා ශ්‍රිපාද අඩවිය (සමනල අඩවිය) ඇතුළත් සමස්ත මධ්‍ය කඳුකරය ලංකාවේ දෙවන ස්වාභාවික ලෝක උරුම ප්‍රදේශය ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය (UNESCO – United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ලෝක උරුම ප්‍රදේශ සමස්ත ලෝකවාසීන් වෙනුවෙන් ආරක්ෂා කිරීමට, ලෝකයේ ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ සම්මුතිය (Convention concerning the protection of the world cultural and naturel heritage – 1972) ප්‍රංශයේ පැරිස් නුවර දී 1972 නොවැම්බර් 16 වන දින ඇති කර ගැනුනි. ශ්‍රී ලංකාව මෙම සම්මුතිය අපරානුමත කළේ 1980 ජුනි 09 වන දින ය. මෙම ජාත්‍යන්තර සම්මුතීන් ආරක්ෂා කරන බවට එකඟ වූ රටක් ලෙස අප මෙම ලෝක උරුම ප්‍රදේශ ආරක්ෂා කිරීම වෙනුවට මාර්ග සකස් කර හානිකර බලපෑමට ලක් කිරීමෙන් ජාත්‍යන්තර සම්මූතීන් බිඳ දමන රටක් වශයෙන් අනාගතයේ දී ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කීර්තියට ලක් වීමට මෙම වැරදි තීන්දු තීරණ හේතු වනු ඇත.
හෝර්ටන් තැන්නේ පාරිසරික වැදගත්කම
ඉතා වැදගත් දියබෙත්ම කලාපයක් වන හෝර්ටන් තැන්නෙන් ලංකාවේ දිග ම ගංඟාව වන මහවැලි ගඟ ආරම්භ වේ. මීට අමතර ව කැලණි හා වලවේ ගංඟාවල ජල ද්රොණියක් ලෙස ද ක්‍රියා කරයි. තොටපල කන්දේ උතුරු බෑවුමෙන් ගලා යන ජල ධාරා දඹගස්තලාව ඔය ඔස්සේ මහවැලි ගඟට එක් වේ. එහි දකුණු බෑවුමෙන් ගලා බසිනා ජල ධාරා බෙලිහුල්ඔය ඔස්සේ වලවේ ගඟට එක් වේ. බෙලිහුල් ඔයේ ආරම්භක දියදහරාවන් එක් වී තැනෙන බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ඉතා ම ප්‍රසිද්ධ මීටර 20 ක් පමණ උස දිය ඇල්ලකි. මෙය හෝර්ටන් තැන්නේ අලි-ඇතුන් හා ගෝනුන් දඩයම් කළ ඉංග්‍රිසි ජාතික දඩයක්කරුවකු වන සැමුවෙල් බේකර් නමින් නම් කර ඇත. කිරිගල්පොත්තේ උතුරු බෑවුමෙන් ගලායන ජල ධාරා අග්‍රා ඔය ඔස්සේ මහවැලි ගඟටත්, නිරිත දිග බෑවුමෙන් ගලායන ජල ධාරා බගවන්තලාව ඔය ඔස්සේ කැලණි ගඟටත් ගලා බසී. මේ හේතුවෙන් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඉතා වටිනා ජල පෝෂක ප්‍රදේශයක් බව පැහැදිලි වේ.
කඳුකර තෙත් කලාපයේ පිහිටි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට නිරිත දිග මෝසමෙන් වැඩි වර්ෂාපතනයක් ලැබේ. මෙහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2150 ක් පමණ වේ. හෝර්ටන් තැන්නේ පරිසර උෂ්ණත්වය විශාල පරාසයක උච්ඡාවචනය වේ. සමහර කාලවල දී දහවල් කාලයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ වන අතර, ජනවාරි හා පෙබරවාරි මාසවල දී රාත්‍රී කාලයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 2 ක් දක්වා පහත බසී. මේ කාලයට මල් තුහින දැක ගත හැකි ය. මෙහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 ක් පමණ වේ. වසරේ බොහෝ කාලයක් මේ වනාන්තර මීදුමින් වැසී පවතී. මේ නිසා මේවා වලාකුළු වනාන්තර ලෙස සැලකේ. මෙහි පරිසර ආර්ද්‍රතාව 98% ක් පමණ වේ. පොදුවේ ගත් කල හෝර්ටන් තැන්නේ වියළි කාලගුණයක් පවතින්නේ ජනවාරි සිට මාර්තු දක්වා මාසවල පමණි. ඒ කාලයට දහවල උෂ්ණත්වය ඉහළ යන අතර, රාත්‍රී කාලයට උෂ්ණත්වය ඉතා පහළ බසී. මේ කාලයට වර්ෂාපතනය අඩු ය. පරිසර ආර්ද්‍රතාවය ද අඩු මට්ටමක පවතී. මේ නිසා හෝර්ටන් තැන්නේ වාර්තා වන බොහෝ ජීවී විශේෂ ශීත දේශගුණයට හොඳින් අනුවර්තනය වූ විශේෂ වෙති.

හෝර්ටන් තැන්නේ ශාක උරුමය
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වෘක්ෂලතාදී දර්ශ කිහිපයක් ම දැක ගත හැකි ය. මේ අතුරෙන් ප්‍රධාන වන්නේ ජාතික වනෝද්‍යානයේ වැඩි පැතිරීමක් සහිත වලාකුළු වනාන්තර ය. මේවා වෘක්ෂලතාදී දර්ශ නාමකරණයට අනුව තෙත් කලාපීය කඳුරට වන බිම්වලට අයත් නුවරඑළිය වනබිම් ලෙස වර්ග කර තිබේ. මීට අමතර ව විශාල තෘණ බිම් පද්ධතියක් හා ජලජ පරිසර පද්ධති බොහොමයක් දැක ගත හැකි ය.
මෙවන් පරිසර පද්ධති රාශියකින් සමන්විත වනා්ද්යානයේ සපුෂ්ප ශාක විශේෂ 437 ක් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 112 ක් මෙරටට ආවේණික වේ. වනාන්තර තුළ වෘක්ෂමය ශාක විශේෂ 86 ක් වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 44 ක් ආවේණික වෙයි. Orchidaceae කුලයට අයත් උඩවැඩියා විශේෂ 49 ක් හෝර්ටන් තැන්නෙන් වාර්තා වන අතර ඉන් විශේෂ 20 ක් ආවේණික වේ. මේ අතර අපි ශාකීය උඩවැඩියා විශේෂ 34 ක් හා භෞමික උඩවැඩියා විශේෂ 15 ක් වෙයි. Acanthaceae කුලයට අයත් නෙළු විශේෂ 18 ක් මෙහි වාර්තා වන අතර ඉන් විශේෂ 15 ක් මෙරටට ආවේණික විශේෂයන් ය. මීවන ශාක විශේෂ 32 ක් පමණ හෝර්ටන් තැන්නෙන් වාර්තා වේ. ඉන් විශේෂ 5 ක් ලංකාවට ආවේණික වන අතර, විශේෂ 07 ක් ඉතා දුර්ලභ විශේෂ වෙයි. වාර්තා වන මීවන ශාක විශේෂ අතුරෙන් 08 ක් ආශ්රිත මීවන ශාක වන අතර ඉතිරි බහුතරය සත්‍ය මීවන ශාක විශේෂ වෙති.
හෙක්ටයාර 2348 ක් පුරා ව්‍යාප්ත ව ඇති වලාකුළු වනාන්තරවල මීටර 15 ත් 20 ත් අතර උසින් යුත් වියන් ස්ථරයේ ශාක දැක ගත හැකි ය. මෙහි ප්රමුඛ ලෙස කීන (Calophyllum walkeri)” වල්සපු (Michelia nilagirica)” වටාපත් දඹ (Syzygium rotundifolium), කරන් දඹ (Syzygium revolutum), මරං (Syzygium zeylanicum)” වෙරළු කුලයට අයත් වල් වෙරළු (Elaeocarpus montanus), ගල් වෙරළු (Elaeocarpus glandulifer), Elaeocarpus coriaceus, Elaeocarpus ceylanicus, වල් කුරුදු (Cinnamomum ovalifolium) සහ බීරිය (Litsea ovalifolia), හං බදුල්ල (Semecarpus coriacea) වැනි ආවේණික හා දුර්ලභ ශාක විශේෂ වාර්තා වෙයි. මීට අමතර ව ලංකාවට ආවේණික මහ කුඩු දවුල (Neolitsea fuscata), රතු මිහිරිය (Adinandra lasiopetala), පොල්කටු ගස් (Actinodathne speciosa) වැනි විශේෂ වාර්තා වේ. වනාන්තරවල ඝන යටි වගාවක් ලෙස ආවේණික හා දුර්ලභ නෙළු ශාක විශේෂ (Strobilanthes anceps, Strobilanthes calycina, Strobilanthes hookeri, Strobilanthes pulcherrima, Strobilanthes sexennis, Strobilanthes vestita, Strobilanthes viscosa) දැක ගත හැකි ය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ හෙක්ටයාර 662 ක් පුරා පැතිරුණු තෘණබිම් ආකාර දෙකක් දැක ගත හැකි ය. උසට වැඩෙන තෘණ ශාක සහිත තෘණබිම් හා වැතිරී වැටෙන තෘණ ශාක සහිත තෘණ බිම් වශයෙනි. උසින් වැඩෙන තෘණ බිම්වල ප්රමුඛ තෘණ ශාක ලෙස ගවර තණ (Chrysopogon zeylanicus) දැක ගත හැකි ය. තරමක් වියළි ප්‍රදේශවල මේ විශේෂය වාර්තා වේ. තෘණ බිම්වල දිය පහරවල් ආශ්රිත ව Garnotia exaristata තෘණ විශේෂය බහුල ව දැක ගත හැකි ය.
තෘණ භූමිවල තැනින් තැන ඉතා අලංකාරවත් රත් පැහැ මල් දරන ලංකාවට ආවේණික උප විශේෂයකට අයත් මහ රත්මල් (Rohododendron arboreum zeylanicum) ශාකය දැක ගත හැකි ය. දහතුන්වන සියවසේ දී ලෝකයේ බොහෝ රටවල සංචාරයේ නිරත වූ මොරොක්කෝ ජාතික දේශ ගවේෂකයකු වූ ඉබන් බතුතා (වර්ෂ 1304 – 1368 දක්වා ජීවත් වූ) ලංකාවේ සංචාරය කර ලෝකයේ මල් අතර රැජිණ ලෙස හඳුන්වා ඇත්තේ ද මහ රත්මල් ශාක යයි. මෙය හෝර්ටන් තැන්නට අපූර්ව අලංකාරයක් එක් කරන ප්‍රධාන ශාකයකි. මේ තෘණ බිම් ආශ්රිත ව කුඩා සපුෂ්ප ශාක විශේෂ බොහොමයක් වාර්තා වේ. ඒ අතර වල් කපුරු (Gaultheria rudis)” බෝවිටියා (Osbeckia wightiana, Osbeckia parvifolia)” සුදු බිනර (Exacum walkeri)” නිල් බිනර (Exacum trinervium)” Exacum macranthum, Exacum trinervium, මහ සුදනා (Anaphalis subdecurrens), කුඩා සුදනා (Anaphalis brevifolius) මෙන්ම තෘණ විශේෂ වන Arundinella villosa, Chrysopogon zeylanicus වැනි ශාක වෙයි.
තෘණබිම් හා වලාකුළු වනාන්තර අතර කොටසෙහි පඳුරුමය ශාකවලින් සමන්විත වෘක්ෂලතා දී කලාපයක් දැක ගත හැකි ය. මේ කලාපයේ පඳුරු ශාක ලෙස බෝවිටියා (Osbeckia aspera), දාරුහරිද්‍රා (Berberis aristata). සීතා පේර (Rhodomyrtum tomentosa), පතන් පාලු (Eupatorium inulifolium), Euphorbia rothiana වැනි ශාක දැක ගත හැකි ය.
හෝර්ටන් තැන්නට ආවේණික සුවිශේෂී වනාන්තර දර්ශයක් වන්නේ කුරු උණ ශාකයෙන් සමන්විත වෘක්ෂලතාදී දර්ශයයි. මෙය තෘණ භූමි ලෙස ඈතට දිස් වේ. මෙහි දැක ගත හැක්කේ හෝර්ටන් තැන්නට ආවේණික කුරු උණ (Sinarundinaria densifolia) ශාකයයි. මේ ශාකය දිය දහරාවන් ආශ්රිත ප්‍රදේශවල ඝන ඇතිරිල්ලක් ලෙස ව්‍යාප්ත ව ඇත.
හෝර්ටන් තැන්නේ නොයිඳුල් දිය පහරවල හා ඒ ආශ්රිත ව ජලජ ශාක බොහොමයක් දැක ගත හැකි ය. කෙකටිය (Aponogeton jacobsenii) ශාකය බොහෝ දිය පහරවල බහුල වේ. දිය පහරවල් ආශ්රිත ව කුඩා සපුෂ්ප ශාක වන කොක් මොට (Eriocaulon spp.)” Isolepis fluitans වැනි දුර්ලභ ජලජ ශාක හා කෘමි භක්ෂක ශාක වන අඩසදැස්ස (Drosera peltata)” වටැස්ස (Drosera burmannii) වැනි ශාක දැක ගත හැකි ය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වාර්තා වන මීවන ශාක විශේෂ අතර, විශාල ව වැඩෙන ගිණිහොට (Cyathea crinita)” Cyathea walkerae වැනි ශාක, දුර්ලභ හා ආවේණික මීවන ශාක වන Grammitis zeylanica, Ctenopteris epaleata හා Xiphoptleris cornigera විශේෂ වෙයි. ආශ්රිත මීවන ශාක අතුරෙන් ආවේණික හා දුර්ලභ ශාක ලෙස Huperzia ceylanica හා Osmunda collina වැනි විශේෂ වෙයි. දුර්ලභ ආශ්රිත මීවන ශාක ලෙස කුඩා හැඩයා හා මහ හැඩයා ශාකවලට රූපීයව සමාන Huperzia hamiltonii, Huperzia subulifolia සහ බඩල්වනස්ස ශාකවන Lycopodium japonicum, Lycopodium wightamum හා Lycopodiella caroliniana විශේෂ වෙයි. මේ ශාක දිය දහරාවන් ආශ්රිත ව හා තෙත් තෘණ බිම්වල දැක ගත හැකි ය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උඩවැඩියා විශේෂ අතර අපිශාකීය උඩවැඩියා විශේෂ ලෙස Bulbophyllum wightii, Bulbophyllum elegans, Bulbophyllum thwaitesii, Coelogyne odoratissima, Dendrobium diodon, Eria bicolor, Eria lindleyi, Eria thwaitesii වැනි විශේෂ වලාකුළු වනාන්තරවල ශාක කඳන් මත වැඩෙන අලංකාරවත් මල් දරන ශාක වෙයි. භෞමික උඩවැඩියා විශේෂ අතර ලංකාවට ආවේණික නගා මැරූ අල (Ipsea speciosa), තාරකා උඩවැඩියා (Phaius wallichii) වැනි විශේෂ තරමක් සෙවණ සහිත තෙත් තෘණ බිම් පරිසරවල හමු වේ. භෞමික උඩවැඩියා ශාකයක් වන Satyrium nepalense වැනි ශාක ද තෘණ භූමි ආශ්රිත ව දැක ගත හැකි ය.
හෝර්ටන් තැන්නේ ලයිකන ශාක විශේෂ අධික විවිධත්වයක් සහිත වන අතර විශේෂ 40 ක් පමණ හඳුනාගෙන තිබේ. ගස්වල කඳන් මත, ගල්පර මත, කණ්ඩි මත වැඩෙන ලයිකන විශේෂ බොහොමයක් වේ. මේ අතුරින් ගස් මත එල්ලී වැඩෙන “මහළු මිනිසාගේ රැවුල” නමින් ප්‍රචලිත Ramalina usnea ලයිකන විශේෂය ඉතා අලංකාරවත් හා වළාකුළුවල ජල වාෂ්ප රඳවා ගැනීමට ප්‍රධාන වශයෙන් දායක වේ. මීට අමතර ව Usnea cornuta, Usnea steineri, Stereocaulon foliolosum, Everniastrum cirrhatum, Fuscopannaria coerulescens වැනි ඉතා දුර්ලභ හා සීමිත ව්‍යාප්තියක් සහිත ලයිකන විශේෂ ගණනාවක් හෝර්ටන් තැන්නෙන් වාර්තා වේ.
හෝර්ටන් තැන්නේ සත්ත්ව උරුමය
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ක්ෂීරපායී සත්ත්ව විශේෂ 27 ක් වාර්තා වේ. ඒ අතුරෙන් විශේෂ 07 ක් ලංකාවට ආවේණික විශේෂ වෙයි. හෝර්ටන් තැන්නේ ක්ෂීරපායී සතුන් අතරින් බොහෝ දෙනා ගේ වැඩි අවදානයට ලක් වන්නේ ගෝනුන් (Cervus unicolor) ය. දහවල් කාලයේ දී කඳුකර වනාන්තර තුළ සැඟවී සිටින ගෝනුන් සවස් කාලයේ දී සිය ගණනින් යුත් රංචු වශයෙන් තණ උලා කෑම සඳහා හෝර්ටන් තැන්න පුරා ව්‍යාප්ත ව ඇති තෙත් පතන තෘණ භූමි වෙත පැමිණෙති. මෙය ඉතා සිත්ගන්නාසුලු දර්ශනයකි. මීට අමතර ව ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායින් ලෙස දැක ගත හැකි වන්නේ කොටියා (Panthera pardus kotiya), වල් ඌරා (Sus scrofa), ඕලු මුවා හෙවත් වැලි මුවා (Muntiacus muntjak), අඳුන් දිවියා (Prionalurus viierrinus) වැනි ක්ෂිරපායීන් ය.
කඳුකර වනාන්තර ආශ්රිත ප්‍රදේශයේ මහ කැලෑ ලේනා (Funambulus layardi), දඩු ලේනා (Ratufa macroura) හා පඳුරු ආශ්රිත ව බටු ලේනා (Funambulus sublinieatus) දැක ගත හැකි ය. ලංකාවට ආවේණික ඉතා ම දුර්ලභ කඳුකර උණහපුළුවා ලෙස හදුන්වන උප විශේෂය (Loris tardigradus nycticeboides) හෝරටන් තැන්න ජාතික වනය තුළ ජීවත් වේ. හෝර්ටන් තැන්නේ දිය දහරාවන් හා කුඩා දිය පොකුණු ආශ්රිත ව දිය බල්ලා (Lutra lutra) දැක ගත හැකි ය. ලංකාවට ආවේණික ක්ෂීරපායීන් ලෙස කෙලාට් ගේ හික්මීයා (Feroculus feroculus), රන් හෝතබුවා (Paradoxurus zeylonersis), ලංකා කඳුකර මීයා (Srilankamys ohiensis), ලංකා නෙළු මීයා (Suncus montanus), ලංකා කටු මීයා (Mus mayori), රිලවා (Macaca sinica opisthomelas) හා වලස් වඳුරා (Semnopithecus vetulus monticola) යන ක්ෂීරපායීහු හෝර්ටන් තැන්න ජාතික වනය තුළ ජීවත් වෙති.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උභයජීවී විශේෂ 20 ක් වාර්තා වන අතර, ඉන් විශේෂ 19 ක් ලංකාවට ආවේණික වේ. හෝර්ටන් තැන්නේ පඳුරු ආශ්රිත ව ජීවත්වන පඳුරු මැඩියන් ගේ විවිධත්වය ඉතා අධික ය.
හෝර්ටන් තැන්නේ දියදහරාවන් ආශ්රිත කුරු උණ ශාක සහිත පරිසරවල ලංකා මුව පටු මැඩියා (Microhyla zeylanica) නම් මෙරටට ආවේණික ඉතා ම දුර්ලභ විශේෂය වාර්තා වේ. මහඑළිය පඳුරු මැඩියා (Pseudophilautus alto) හෝර්ටන් තැන්න ඇතුළු මධ්‍ය කඳුකරයේ වනාන්තර කිහිපයක පමණක් වාර්තා වන ඉතා ම දුර්ලභ ආවේණික විශේෂයකි. ෆ්රැන්කර්බර්ග් ගේ පඳුරු මැඩියා (Pseudophilautus frankenbergi) හෝර්ටන් තැන්නට අමතර ව වාර්තාවන අනෙක් කඳුවැටිය වන්නේ නමුණුකුල කඳුවැටියයි. එබැවින් මේ විශේෂය හොර්ටන් තැන්නට හා නමුණුකුල කඳුවැටියට ආවේණික වේ.
හෝර්ටන් තැන්නේ විවිධ වූ පරිසර පද්ධතිවල මෙරටට ආවේණික, පටල පා මොටහොඹු මැඩියා (Uperodon palmatus), ලංකා වෙල් මැඩියා (Minervarya greenii)” තබවන් දිය මැඩියා (Indosylvirana temporalis)” කීර්තිසිංහගේ මැඩියා (Minervarya kirtisinghei)” දුඹුරු හිරි දණ්ඩා (Ichthyophis orthoplicatus)” පාර්කර් ගේ මොට හොඹු මැඩියා (Ramanella palmata)” පලා පඳුරු මැඩියා (Pseudophilautus femoralis)” කුඩාකන් පඳුරු මැඩියා (Pseudophilautus microtympanum)” ගොරහැඩි පඳුරු මැඩියා (Pseudophilautus schmarda)” මුක්කන්හොඹු පඳුරු මැඩියා (Pseudophilautus silus), කඳුකර ගස් මැඩියා (Taruga eques) වැනි ඉතා දුර්ලභ විශේෂ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ජීවත් වේ.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උරග විශේෂ 10 ක් වාර්තා වන අතර ඉන් විශේෂ 9 ක් ම ලංකාවට ආවේණික වේ. මීට අමතර ව ලංකාවට ආවේණික ගණ 4 කට අයත් උරග විශේෂ හෝර්ටන් තැන්නේ වාර්තා වීම විශේෂත්වයකි. එම ආවේණික ගණ නම් සිවුපා උරගුන් අයත්වන Ceratophora, Cophotis, Lankascincus සහ පාංශුවාසී සර්පයන් අයත් වන Aspidura යන ගනයන් ය.
හෝර්ටන් තැන්නේ උරගයන් පිළිබඳ ව සඳහන් කිරීමේ දී බොහෝ දෙනා ගේ අවධානයට ලක් වන්නේ ලංකාවට ආවේණික මධ්‍ය කඳුකරයේ පමණක් ජීවත්වන රයිනෝ අඟ කටුස්සා (Ceraophora stoddartii) ය. මේ විශේෂය කඳුකර වනාන්තර ආශ්රිත ප්‍රදේශයේ වාර්තා වේ. නෙළු පඳුරු ආශ්රිත ව මෙන් ම කඳුකර වනාන්තරයේ ලයිකන ශාක බහුල ශාක කඳන් මත ද මේ සතුන් නිතර දැක ගත හැකි ය.
හෝර්ටන් තැන්නේ පිහිටි පඳුරු ශාක ආශ්රිත ව විශේෂයෙන් කටු සහිත පඳුරු ශාක ආශ්රිත ව ලංකාවට ආවේණික කට කළු කටුස්සා (Calotes nigrilabris) දැක ගත හැකි ය. මීට අමතර ව පඳුරු ශාක ආශ්රිත ව, ලංකාවට ආවේණික, ඉතා ම දුර්ලභ, කඳුකර වලාකුළු වනාන්තර ආශ්රිත ව පමණක් දැක ගත හැකි නිශාචර කටුසු විශේෂයක් වන කුරු බෝදිලිමා (Cophotis ceylonica) ජීවත් වේ.

ලංකාවට ආවේණික තෙල් හීරලුවා (Lankascincus taprobanensis) වැනි සිවුපා උරගුන්ට අමතර ව ලේ මැඩිල්ලා (Aspidura brachyorrhos)” දලව මැඩිල්ලා : (Aspidura trachyprocta) වැනි පාංශු වාසී සර්ප විශේෂ හා භෞමිකවාසී සර්පයින් වන මෙරටට ආවේණික මුදු කරවලා (Bungarus ceylonicus) හා කඳුකර මූකලන් තෙලිස්සා (Hypnale nepa) ද හොර්ටන් තැන්නේ දැක ගත හැකි ය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පක්ෂි විශේෂ 82 ක් වාර්තා වේ. ඉන් විශේෂ 13 ක් ආවේණික වන අතර 14 ක් පමණ සංක්‍රමණික පක්ෂි විශේෂ වෙති. ශ්‍රී ලකාවට ආවේණික ඉතා ම සුළු ව්‍යාප්තියක් සහිත දුර්ලභ මෙන් ම දැක ගැනීමට අපහසු කුලෑටි පක්ෂියකු වන අරංගයා (Sri Lanka Whistling Thrush) හෝර්ටන් තැන්නේ වාර්තා වන විශේෂ පක්ෂියෙකි.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පක්ෂි විශේෂ විවිධත්වය බහුල වන්නේ කඳුකර වනාන්තර ආශ්රිත ව ය. තෙත් පතන තෘණ භූමි ආශ්රිත ව අඩු පක්ෂි විවිධත්වයක් දැක ගත හැකි ය. තෙත් පතන තෘණ භූමි ආශ්රිත ව දැක ගත හැකි වන්නේ කළුබෙට්ටි කුරුල්ලා (Pied Bush Chat), ගොමරිට්ටා (Indian Pipit), කොණ්ඩ ගොමරිට්ටා (Oriental Skylark), උල්පෙඳ කැස්වටුවා (Pintail Snipe), කඳු කැස්වටුවා (Wood Sandpiper) වැනි පක්ෂීන් ය.
හෝර්ටන් තැන්නේ කඳුකර වනාන්තර ආශ්රිත ව පක්ෂීන් බහුල ව දැක ගත හැකි ය. කුඩා කණ්ඩායම් ලෙස සකස් වූ ලංකාවට ආවේණික රතු දෙමලිච්චා ගේ (Rufous Babbler) මූලිකත්වයෙන් යුත් පක්ෂි නඩ හා ලංකාවට ආවේණික කඳුකර මල් කුරුල්ලන් ගේ (Sri Lanka Hill White eye) මූලිකත්වයෙන් යුත් කුඩා පක්ෂි නඩ කඳුකර වනාන්තර පුරා නිතර දැක ගත හැකි ය. කඳුකර වනාන්තර ආශ්රිත පක්ෂීන් අතර ලංකාවට ආවේණික මයිලගොයා (Sri Lanka Wood Pigeon) කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie)” ගුරු කොණ්ඩයා (Sri Lanka Yellow eared Bulbul)” දෑ දෙමලිච්චා (Sri Lanka Scimitar Babbler)” අඳුරු නිල් මැසිමාරා (Sri Lannka Dusky blue Flycatcher) වැනි පක්ෂීන් මෙන් ම ලංකාවට ආවේණික නොවන හිස අළු මැසිමාරා (Gey – headed Flycatcher)” නිල් පණු කුරුල්ලා (Velvet – fronted Blue Nuthatch) වැනි පක්ෂීන් දැක ගත හැකි ය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ මාංශ භක්ෂක ගොදුරු කුරුල්ලන් වන උකුස්සන් ගේ බහුල විවිධත්වයක් දැක ගත හැකි ය. පතන උකුස්සා (Black winged kite), මහ කොණ්ඩ රාජාලියා (Mountain Hawk Eagle), කළු රාජාලියා (Black Eagle), බඩ රතු රාජාලියා (Rufous – bellied Eagle), ගෝමර බිම් උකුස්සා (Pied Harrier), අළු බිම් උකුස්සා (Montague’s Harrier), කොණ්ඩ උකුස්සා (Jerdon’s Baza), බඩ රතු කොබෙයි උකුස්සා (Shaheen Falcon) වැනි ගොදුරු කුරුලු විශේෂ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විවෘත තණ බිම් ආශ්රිත ව දැක ගත හැකි ය.
සංක්‍රමණික පක්ෂීන් ලෙස නිල් බෙට්ටි කුරුල්ලා (Indian Blue Robin), දුඹුරු ඇස් පැටියා (Brown Shrike), අළු හලන්පෙන්දා (Grey Wagtail), උස් ගොමරිට්ටා (Richard’s Pipit), උල් පෙඳ කැස්වටුවා (Pintail Snipe), පලාවන් හම්බු කුරුල්ලා (Greenish tree Warbler), නිල් කුරුමිණි කුරුල්ලා (Blue tail Bee – eater) වැනි පක්ෂීන් හොර්ටන් තැන්නේ වාර්තා වේ.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සමනල විශේෂ 57 ක් වාර්තා වන අතර, ඉන් විශේෂ 6 ක් ලංකාවට ආවේණික වේ. ඉතා ශීත හා මල් තුහින සහිත දේශගුණයක් මෙහි පැවතිය ද, මෙතරම් සමනල විශේෂ ප්‍රමාණයක් වාර්තා වීම විශේෂ කරුණකි. මීට ප්‍රධාන සාධකය නම් හෝරටන් තැන්නේ කඳුකර වනාන්තරය තුළ ආවේණික ශාක විවිධත්වය යි. මීට අමතර ව කඳුකර ආශ්රිත ව තෙත් පතන තෘණ භූමි ආශ්රිත ව දක්නට ලැබෙන සපුෂ්ප ශාකවල විවිධත්වය මේ සමනල විවිධත්වයට හේතු සාධක වේ.
මීට දසකයකට පමණ ප්‍රථම ලංකාවෙන් වඳ වී ගොස් ඇතැයි විශ්වාස කළ මෙරටට ආවේණික ඉතා ම දුර්ලභ Sri Lanka Green’s Silverline සමනල විශේෂය වසර 110 කට පසුව වාර්තා කිරීමට හැකි වූයේ හෝර්ටන් තැන්න වනෝද්‍යානයෙනි. මීට අමතර ව සුවිශේෂි සමනල විශේෂ කීපයක් ම හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ දැක ගත හැකි ය. ඒ අතර මහ කැලෑ පැපිලියා (Red Helen), රතු සෙනෙවියා (Indian Red Admiral), ඉන්දියානු අලංකාරිකයා (Indian Fritillary), නිල් කැලෑ කොළයා (Blue Oakleaf), ලංකා නිල් කොටිතියා (Ceylon Tiger), ලංකා ගස් දුඹුරුවා (Ceylon Tree Brown), නිල් සෙනෙවියා (Blue Admiral), විචිත්‍ර අලංකාරිකයා (Painted Lady) වැනි විශේෂ වෙයි.
හෝර්ටන් තැන්නේ දියපහරවල දේශිය මත්ස්‍ය විශේෂ දැක ගත නො හැකි ය. මේ දියපහරවල වාර්තා වන්නේ යටත් විජිත සමයේ වර්ෂ 1882 දී බි්රතාන්යයන් විසින් දඩයම පිණිස හදුන්වා දුන් දේදුනු මත්ස්‍යයා (Rainbow Trout – Oncorhynchus mykiss) පමණි. හෝර්ටන් තැන්නේ දියපහරවල මිරිදිය කකුළුවන් හා ඉස්සන් විශේෂ කිහිපයක් ජීවත් වේ. ඒ අතරින් ලංකාවට ආවේණික ඉතා දුර්ලභ මිරිදිය ඉස්සන් විශේෂයක් වන Lancaris singhalensis හෝර්ටන් තැන්නේ දියපහරවල පමණක් ජීවත් වේ. මීට අමතර ව ලංකාවට ආවේණික මිරිදිය කකුළුවන් වන Ceylonthelphusa sorror, Ceylonthelphusa rugosa, Perbrinckia punctata, Perbrinckia glabra වැනි විශේෂ හෝර්ටන් තැන්නේ නොඉදුල් දියපහරවල ජීවත් වේ.
මෙවන් වූ අද්විතීය ජෛව විවිධත්වයකට උරුමකම් කියන හෝර්ටන් තැන්න, සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් සිතන්නේ වෙළෙද භාණ්ඩයක් පමණක් බව ය. මේ නිසා මෙම රක්ෂිත වනාන්තරයේ වටිනාකම් සියල්ල උල්ලංඝනය කරමින් සංචාරක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි. මේ ආකාරයෙන් මිනිසා හා සොබාදහම අතර ඇති අන්තර් සබදතා බිඳ දැමීමට ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ ව්‍යාපාරිකයන් විසින් ස්වාභාවික සම්පත් වෙළෙද භාණ්ඩ බවට පත් කර ගැනීම ය. රුසියානු ජාතික මහා ගත්කරු ලියෝ ටොල්ස්ටෝයි (1828 – 1910) සඳහන් කරන ආකාරයට “සතුට සඳහා පළමු කොන්දේසිය වන්නේ මිනිසා සහ සොබාදහම අතර සම්බන්ධය බිඳ නොදැමීම ය” යන්න ගොඩ නැගීමට ප්‍රධාන අභියෝගය වී ඇත්තේ ව්‍යාපාරිකයන් විසින් සොබාදහම බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිදු කරන ව්‍යාපාරයන් ය. මේ නිසා රජය මැදිහත් විය යුතු වන්නේ නිවැරදි සංචාරක ප්‍රතිපත්තියක් මත මෙම කර්මාන්තය මෙහෙයවන ක්‍රියාවලියක් ගොඩ නැගීමට ය. එවිට ව්‍යාපාරිකයන්ට හෝ දේශපාලඥයන්ට අභිමත පරිදි සැලැසුම් සකස් කර ස්වාභාවික පරිසර පද්ධති බිඳ වැටෙන තත්ත්වයන් නිර්මාණය කිරීම වැළැකෙනු ඇත. ඒ සඳහා “වගකීම් සහිත සංචරණයේ” (Responsible Tourism) මූලධර්ම හා සංකල්ප මත ගොඩනැගුණු සංචාරක ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ලෝකයේ ජෛව විවිධත්වයෙන් උච්ච රටවල් (Biodiversity Hotspot) 36 අතුරෙන් එකක් වන අප රටේ ජෛව උරුමයේ අනාගත පැවැත්ම සංචාරක ව්‍යාපාරය තුළින් ම බිඳ වැටෙනු ඇත.
සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය