අපරාධ නීතියේ පරම පදනම හෙවත් වරදට සරිලන දඬුවම


අපරාධ නීතියේ පරම පදනම වන්නේ “වරදට සරිලන දඬුවම” (Punishment strictly fit for the crime) යන්නයි. දණ්ඩනයක සමානුපාතිකත්වය (Proportionality of Punishment) යනු, සිදු කරන ලද වරදේ බරපතළකම, එහි ප්‍රතිඵලය, වරදකරුගේ චේතනාව සහ සමාජයට සිදු වූ හානිය යන කරුණු සමඟ නීතිය මගින් පනවන දඬුවමේ ස්වභාවය සහ බරපතළකම සාධාරණ සමබරතාවයක පැවතිය යුතුය යන මූලික සිද්ධාන්තයයි. නිදසුනක් ලෙස ගතහොත් රුපියල් 1,000ක් සොරකම් කළ අයෙකුටත්, මිනීමැරුමක් කළ අයෙකුටත් එකම දඬුවම දීම අසාධාරණ ය. එමෙන්ම සුළු වරදකට අතිශය බරපතළ දඬුවමක් දීම, නීතියේ මූලික අරමුණ වන යුක්තිය ඉටු කිරීම වෙනුවට සමාජය තුළ අයුක්තිය ස්ථාපිත කරයි. මෙම සිද්ධාන්තය බටහිර දර්ශනයේ පියා වන ඇරිස්ටෝටල්ගේ (Aristotle) කාලයේ සිට, නූතන දණ්ඩන නීතියේ පියා වන චෙසාරේ බෙකාරියා (Cesare Beccaria, 1738–1794) දක්වා පෝෂණය වූ සංකල්පයකි. බෙකාරියාගේ “On Crimes and Punishments” (1764) කෘතියේ ඔහු අවධාරණය කළේ, දඬුවම යනු අපරාධයක් වැළැක්වීමට අවශ්‍ය ප්‍රමාණයෙන් ඔබ්බට විහිදිය යුතු නොවන බවයි.

දණ්ඩනයක සමානුපාතිකත්වයේ දාර්ශනික හා නෛතික පදනම ඉතා වැදගත් වූයේ එබැවිනි.

දණ්ඩනයක සමානුපාතිකත්වය ප්‍රධාන න්‍යායන් දෙකක් මත රඳා පවතී:

ප්‍රතිවිපාකවාදී යුක්තිය (Retributive Justice) යනු ඉන් පළමු න්‍යාය වේ. ඉමැනුවෙල් කාන්ට් (Immanuel Kant) සහ හෙගල් (G. W. F. Hegel) වැනි දාර්ශනිකයන්ට අනුව, දඬුවම යනු වරදට ලැබිය යුතු සදාචාරාත්මක ප්‍රතිවිපාකයයි. වරද විශාල නම්, ඊට ලැබෙන ප්‍රතිවිපාකය ද ඊට සමානුපාතිකව විශාල විය යුතු ය. ඉන් අවධාරණය වනුයේ දඬුවම සදාචාරාත්මක සීමාවෙන් ඔබ්බට විහිද යා යුතු නොවන බවකි.

උපයෝගිතාවාදී න්‍යාය (Utilitarian Theory) මෙහි දෙවැන්න ය. චෙසාරේ බෙකාරියා සහ ජෙරමි බෙන්තම් (Jeremy Bentham) ට අනුව, දඬුවමේ අරමුණ පළිගැනීම නොව, අනාගත අපරාධ වැළැක්වීම (Deterrence) යි. එබැවින් දඬුවම, අපරාධය වැළැක්වීමට අවශ්‍ය අවම මට්ටමට සමානුපාතික විය යුතුය. අසමානුපාතිකව බරපතළ දඬුවමක් පැනවීමෙන් සිදු වන්නේ සමාජයේ නීතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීමයි.

ඒ නිසා අධිකරණයක් දඬුවමක් නියම කිරීමේදී ප්‍රධාන සාධක 3ක් කෙරෙහි අවධානය යොමු කරයි.

  1. වරදේ වෛෂයික බරපතළකම (Objective Gravity): එනම් සිදු වූ හානිය කොතරම්ද යන්න ඉන් පළමුවැන්න ය. උදාහරණයක් ලෙස, මනුෂ්‍ය ඝාතනයක් යනු සොරකමකට වඩා බරපතළ වරදකි. ආයුධ භාවිතය, සංවිධානාත්මක අපරාධයක් වීම, වින්දිතයා දරුවෙකු හෝ දුර්වල පුද්ගලයෙකු වීම වැනි කරුණු දඬුවමේ බරපතළකම වැඩි කරයි.
  2. වරදකරුගේ විෂයයික තාවය (Subjective Mental State / Mens Rea): යනු ඒ සම්බන්ධ දෙවැන්න වන අතර හිතාමතා හෝ කුමන්ත්‍රණය කර කළ වරදක්, නොසැලකිල්ලෙන් කළ වරදකට වඩා බරපතළය. එසේම, පළමු වරට වරදක් කළ අයෙකුට සහ පුරුදු අපරාධකරුවෙකුට (Habitual Offender) එකම දඬුවම නොදිය යුතු බවට ද සම්මතයක් තිබේ.
  3. දඬුවමේ ස්වභාවය (Nature of Punishment): එහි තෙවැන්න දඬුවමේ ස්වභාවයයි. දඬුවම මානුෂික විය යුතු ය. වධහිංසා, කුරිරු සහ අමානුෂික දඬුවම් තහනම් කිරීම සමානුපාතිකත්වයේම මූලික කොටසකි.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය (Penal Code) සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (Code of Criminal Procedure) තුළ ද සමානුපාතිකත්වය ව්‍යංගයෙන් ඇතුළත් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ: “කිසිදු තැන්පත් තැනැත්තෙකු වධහිංසාවට හෝ කුරිරු, අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවමට ලක් නොකළ යුතුය” යනුවෙන් දක්වා ඇත. මෙය සමානුපාතිකත්වයේ ව්‍යවස්ථාමය ආරක්ෂාවයි (Constitutional Protection). දණ්ඩ නීති සංග්‍රහයේ සාමාන්‍ය හා විශේෂ ව්‍යතිරේක අනුව උසිගැන්වීම (Provocation), හදිසි පුද්ගලික ආරක්ෂාව (Private Defence), සිහිවිකල්තාව (Insanity) වැනි කරුණු මත දඬුවම අඩු කිරීම හෝ වගකීමෙන් නිදහස් කිරීම සිදුවන්නේ ද සමානුපාතිකත්වයේ මූලධර්මය මතම ය.

අධිකරණ විචක්ෂණය (Judicial Discretion) ද මීටම අදාළ වූවකි. බොහෝ වරදවල් සඳහා අවම සහ උපරිම දඬුවම් පරාසයක් දක්වා ඇත. උදාහරණයක් ලෙස, සාමාන්‍ය සොරකමකට අවුරුදු 3 දක්වා සිර දඬුවම් නියම කළ හැකි වුවද, නිවසකට ඇතුළු වී කරන සොරකමකට අවුරුදු 10 දක්වා සිරදඬුවම් නියම කළ හැක. මෙහිදී අදාළ සිදුවීමට සරිලන දඬුවම තෝරා ගැනීමට විනිසුරුවරයාට අවස්ථාව හිමිවේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වීරවංශ එරෙහි නීතිපති (Weerawansa vs. Attorney General) වැනි ප්‍රකට නඩුවලදී, දඬුවමක් අසාධාරණ ලෙස අසමානුපාතික වන්නේ නම් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස පැහැදිලිව අර්ථ දක්වා ඇත.

එමෙන්ම මෙහිදී ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව ද විමසා බැලිය යුතු වේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (UDHR) 5 වන වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 7 වන වගන්තිය මගින් කුරිරු දඬුවම් තහනම් කර ඇත. යම් දඬුවමක් එහි අරමුණට වඩා අසමානුපාතික නම්, එය මානව හිමිකම් ප්‍රඥප්තියේ 3 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස යුරෝපා මානව හිමිකම් අධිකරණය (ECHR) නිතරම අවධාරණය කරයි.

මරණ දණ්ඩනය පිළිබඳ විවාදය මෙහිදී අවධානයට යොමු කළ යුතු වේ. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීතියේ මරණ දණ්ඩනය පැවතියද, 1976න් පසු එය ක්‍රියාත්මක නොවීම (De Facto Moratorium) පිටුපස ඇත්තේ ද මෙම සමානුපාතිකත්වය සහ මානුෂිකත්වය පිළිබඳ සංවාදයයි.

නමුත් සමානුපාතිකත්වය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන අභියෝග දෙකක් මතුවේ. “සරිලන” දඬුවම මැනීමට නිරපේක්ෂ මිනුමක් නොමැති වීම ඉන් පළමුවැන්න ය. දෙවන අභියෝගය වනුයේ මහජන මතය සහ දේශපාලන පීඩනය නිසා විනිසුරුවන්ට දැඩි පීඩනයන්ට යටත් වීමට සිදුවීම ය.

එසේ වුවද, නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දණ්ඩන යුක්තියේ නෛතික හා සදාචාරාත්මක භාවය (Legitimation) රඳා පවතින්නේ මෙම සමානුපාතිකත්වය මතයි. එය නොමැති වූ විට ඒකාන්ත වශයෙන්ම නීතිය පළිගැනීමක් බවට පත්වන අතර, නීතිය කෙරෙහි මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටේ.

එබැවින් දණ්ඩනයක සමානුපාතිකත්වය යනු හුදෙක් නීතිමය තාක්ෂණික සිද්ධාන්තයක් නොව, මනුෂ්‍ය ගෞරවය, සාධාරණත්වය සහ යුක්තිය යන මූලික වටිනාකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ මිනුම් දණ්ඩයි. වරදට සරිලන දඬුවමක් දීමෙන් අප ආරක්ෂා කරන්නේ සමාජය පමණක් නොව, දඬුවම් කරන රාජ්‍යයේ මානුෂිකත්වය ද බව අප තරයේ සිහි තබා ගත යුතුය.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර