අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

vinivida

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති නොවීමට නම් ඔබ සිරුර සිසිල්ව තබා ගත යුතු අතර සහ හොඳින් ජලය පානය කර විජලනය වීම වළක්වා ගත යුතුයි.

උණුසුම් කාලගුණයෙන් සිරුරට ඇතිවන බලපෑම් ගැන තව දුරටත් දැන ගනිමු

කාලගුණය අසාමාන්‍ය ලෙස උණුසුම් වන විට සිරුර සිසිල්ව තබා ගැනීමට අපේ සිරුරෙන් වැඩි වශයෙන් දහඩිය ගලන බව ඔබ දන්නවා. මෙසේ දහඩිය වැඩියෙන් නිපදවෙන විට සිරුරේ ඇති ජලය ප්‍රමාණය වැඩි වශයෙන් පිටවෙනවා. එසේ විජලනය වූ විට රුධිර පීඩනය තිබිය යුතු අගයට වඩා අඩු වෙනවා. මීට අමතරව හෘද ස්පන්දනය වේගවත් වීම සිදුවිය හැකියි. මෙලෙසින් හෘද ස්පන්දනය වැඩි වන විට හෘදයාබාධයන් ඇති වීමට, හෘද ස්පන්දනය අක්‍රමවත් වීමට සහ හෘදයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම ඇණ හිටීමට ඇති ප්‍රවනතාවය වැඩි වනවා. නමුත් කෙනෙක් නිතර ජලය හෝ සීනි රහිත වෙනත් බීම වර්ග පානය කරමින් සිරුරේ තිබිය යුතු ජලය ප්‍රමාණය රඳවා ගන්නවා නම් බිය විය යුතු නැහැ.

මෙම අධික උණුසුම් කාලගුණ තත්වයෙන් වැඩිපුරම පීඩාවට පත් වීමට ඉඩ ඇත්තේ වයස අවුරුදු 75 ට වැඩි පුද්ගලයන් සහ කුඩා දරුවන්ය.

හොඳින් ජලය පානය කිරීමට අමතරව ඔබගේ හෘදය ආරක්ෂා කර ගැනීමට තවත් දේ කළ හැකියි

  • ඉතා උණුසුම් දිනවල එළිමහනේ ගැවසීම හැකි තරම් අඩු කිරීම. එළිමහනේ සිටීම ඔබගේ රැකියාවට අනුව අත්‍යවශ්‍ය දෙයක් නම් වරින් වර සෙවනක ගිමන් හැරීමත් නිතරම ජලය පානය කිරීමත් කළ යුතුයි. (ජලය පානය කිරීමට ඔබට තිබහ දැනෙන තුරු ඉන්න එපා. විනාඩි 20 කට 30 කට වරක් මතක තබාගෙන ජලය පානය කරන්න. එක් වරකට ජලය ලොකු වීදුරුවක් වත් පානය කළ යුතුයි).
  • උදේ 10 ත් හවස 3 ත් අතර කාලයේ එළිමහනේ සිටීම හැකි තරම් මග හරින්න.
  • ජලය වැඩි වශයෙන් අඩංගු ආහාර, එළවලු පලතුරු, ආහාරයට ගැනීම.
  • සෝඩා වර්ග, පැණි බීම, මත්පැන් පානය නොකර සිටීමත් ඉතා වැදගත්. මන්ද යත් ඒ නිසා සිරුරට ජලය අවශෝෂනව වීමේ ක්‍රියාවලියට බාධා ඇති විය හැකි නිසයි.
  • සම ආරක්ෂා කර ගැනීමට හැකි වන පරිදි ඇඳුම් ඇඳීමත්, හිස් වැසුම් පැලඳීමත්, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීමත් ඔබට කළ හැකි තවත් කාර්යයක්.
  • ඉතා අධික උණුසුමක් ඇතිවිට නිවසේ සිටී නම් නිවසේ ඇති සිසිල්ම ස්ථානයේ වැඩි වශයෙන් රැඳෙන්න. ඉර අවුව වැඩි පුර නිවස ඇතුලට ඒම වැළැක්වීමට කළ හැකි දේ කරන්න.
  • දිවා කාලයේ දැඩි ලෙස සිරුර වෙහෙසවන ව්‍යායාම කිරීමෙන් වළකින්න.
  • ඔබට කරකැවිල්ල, පපුවේ වේදනාවන් වැනි අපහසුතාවයන් දැනෙනවා නම් හැකි ඉක්මණින් ඔබගේ වෛද්‍යවරයා හමු වන්න.
  • දැඩි උණුසුම නිසා තාප ආඝාත (heat stroke) තත්වයට පත් වුව හොත් හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. තාප ආඝාත තත්වයේ ලක්ෂණ:
    • අසාමාන්‍ය ලෙස දහදිය දැමීම
    • සම සීතල වීම, තෙත සහිත සහ ඇලෙන සුලු වීම
    • කරකැවිල්ල සහ ක්ලාන්ත ගතිය
    • දෙපා ඉදිමීම
    • මස් පිඬු පෙරලීම
    • හුස්ම ගැනීමට අපහසු වීම
    • ඔක්කාරය හෝ වමනය ඇති වීම

අධික රුධිර පීඩනය (high blood pressure) සහ හෘද් අකරණිය (heart failure) වැනි රෝග තත්වයන්ට ඖෂධ ලබා ගන්නා රෝගීන් අධික රස්නය ඇති දිනවල විශේෂයෙන් පරෙස්සම් විය යුතුයි. එයට හේතුව එවැනි රෝග තත්වයන්ට ලබා දෙන, මුත්‍රා වැඩිපුර පිටවීම සිදු කරන ඩයියුරෙටික්ස් (Diuretics) නම් වූ කාණ්ඩයට අයත් වන Furosemide, HCT, Indapamide වැනි ඖෂධ ඔවුන්ට ලබා දෙන නිසයි. මේ නිසා ඔවුන් හට විජලන තත්වය ඇතිවීම ඉක්මණින් සිදුවිය හැකියි.

අධික උණුසුම් කාලගුණය නිසා අපගේ එදිනෙදා වැඩ කටයුතු නොකර සිටීමට බැහැ. නමුත් එයින් හදවතටත් පොදුවේ සිරුරටත් විය හැකි හානි පිළිබඳ හොඳින් දැන ගෙන එම හානිකර තත්වයන් මග හැර ගැනීමට කටයුතු කළ හැකියි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන – යමුනා සරෝජනී ගුණවර්ධන

දොස් දුරු කරවන දොස්තර උපදෙස්