අනවශ්‍ය විදිහට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

 

vinivida

සාමාන්‍යයෙන් අපි කවුරුත් කැමතියි අනිත් අයට උදව් කරන්න. දන්න කියන අයට විතරක් නෙමෙයි සමහරවිට අපි නොදන්න අයට වුණත් උදව් කරන්න අපි කැමතියි.
විශේෂයෙන්ම අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්න අය දැක්කම බඩගින්නෙ ඉන්න අය දැක්කම පුළුවන් විදිහට උදවු පදව් කරන එක අපි හැමෝගෙම සිරිතක්. නේද?
මෙහෙම අවශ්‍යතා තියන අයට පුළුවන් විදිහට අවංකවම උදව් කරන එක ලොකු දෙයක්. සමහරවිට පිනක්.
හැබැයි උදව් කළ යුත්තේ නැවත ප්‍රතිඋපකාරයක් උදව්වක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි.
යුතුකමක් වශයෙන්, එහෙම නැත්නම් කළ ගුණ සැලකීමේ ක්‍රියාවක් වශයෙන් , නැත්නම් සැබෑ මිතුදමක් වෙනුවෙන් පරිත්‍යාගශීලී සිතකින් මිසක් කිසිදු දෙයක් නැවත ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි ඕනම උදව්වක් කළ යුත්තේ.

අවංක සිතෙන් අප්‍රසිද්ධියේ රහසිගතව උදව් කරන අයත් ඉන්නවා. ඒගොල්ලෝ කිසිම අගය කිරිමක් හෝ ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. වම් අතින් දෙන දේ දකුණු අතට නොදැනෙන්නට දෙන එක තමයි හොඳම පරිත්‍යාගය. හොඳම උදව්ව. ඒක ඇත්ත.
හැබැයි අපි කරන උදව්ව අඩුම ගානෙ අගය කරනවා නම් ඒකට අපි කැමැතියි. නේද ? ඒක ඉතින් නරක දෙයක් නෙමෙයි.
උදව් අවශ්‍ය කෙනෙකුට උදව් කරන එක හොඳ දෙයක් තමයි. හැබැයි සමහර අවස්ථාවලදී අපි උදව් කළ යුත්තේ කාටද නොකළයුත්තේ කාටද කියන එක තේරුම් ගන්න එකත් අපිට වැදගත් වෙනවා.
ඒ නිසා කෙනෙකුට උදව් කරද්දී මෙන්න මේ ටික ගැන හිතල බලන්න.
සමහරු උදව් අවශ්‍ය වෙලා තිබුණා වුණත් ආත්ම ගෞරවයට හානියක් වෙයි කියලා උදව් ඉල්ලන්නේ නෑ. එහෙම අය හමුවුණොත්, ඒ අයගේ ආත්ම ගෞරවයට හානියක් නොවන විදිහට උපායශීලීව උදව් කරන්න .

ඔබ උදව් නොකළ යුතු කොටසකුත් ඉන්නවා. කවුද ඒ?
උදව්වක් අවශ්‍ය නැති වුණත් උදව් දෙන කෙනෙක් දැක්කම, දෙන නිසා ගන්න බලන අය ඉන්නවා. ඒගොල්ලෝ ඔබේ කරුණාවන්ත කමින් අයුතු ප්‍රයෝජන ගන්න අය.
ඔබෙන් උදව් අරගෙන වෙනත් අක්‍රමිකතාවලට යොදවන අය ඉන්නවා. නිදසුනක් වශයෙන් දරුවන්ට කියල කිරිපිටි බෙහෙත් යනාදිය අරන් දුන්නම ඒවා විකුණලා සල්ලි ගන්න කපටි මිනිස්සුත් ඉන්නවා.
සමහරු බොරු කිය කිය ඔබව මෝඩයට අන්දගෙන ඔබෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.
ඔබව බලල් අතක් කරගෙන, ඔබව අතරමැදියා කරලා ඒ අය බේරිලා ඔබ හරහා යමක් කරගන්න උත්සාහ කරන කපටි කුහක මිනිස්සුත් ඉන්න පුළුවන්. ඇයි ඔබ ඒ වගේ මිනිස්සු නිසා අපරාදෙ අමාරුවේ වැටෙන්නේ?
ඉහත සඳහන් විදිහේ කිසිම කෙනෙකුට උදව් කරන්න යන්න එපා. අන්තිමට පාඩු සිද්ධ වෙලා කලකිරිලා හිතෙන් වේදනා විඳින්න වෙන්නේ ඔබටමයි.

තවත් එකක්. ඔබ කෙනෙකුට දිගින් දිගටම අනවශ්‍ය උදව් කළොත්, සමහර විට ඒ පුද්ගලයා තමන්ගේම උත්සාහයෙන් දියුණු වෙන්න උත්සහ නොකරන්නත් පුළුවන්.
ඒ වගේ අවස්ථාවක ඔබ උදව් කරනවා කියල හිතුවට උදව් කරනවට වඩා ඔබ කරන්නේ ඔහුගේ දියුණුවට වල කැපීමක්.
උදව් නොකර බැරි නිසා ,තරහවෙන් අකමැති සිතකින් කෙනෙකුට උදව් කරන්න යන්නත් එපා. ඒක ඔබේ හිතට සැනසීමක් වෙන්නෙත් නැහැ. පිනක් වෙන්නෙත් නැහැ.
උදව් කිව්වම, මුදල් , තෑගි බෝග විතරක් නෙමේ. සමහර විට ඔබේ වචනයක්, ඔබේ කාලය, ඔබේ ශ්‍රමය, ඔබේ දක්ෂතාවය, කෙනෙකුට ලොකු උදව්වක් වෙන්න පුළුවන්.
ඒත් ඔබට පාඩු සිද්ධ කරගෙන අනවශ්‍ය දුරකට ගිහින් කාටත් උදව් කරන්න ඔබ බැඳිලා නැහැ..
යම්කිසි නිත්‍යානුකූල නොවන වංචාකාර වැඩකට මැදහත්වෙන්න කියලා ඉල්ලීමක් කළොත් ප්‍රතික්ෂේප කරන්න.
සමහර ආයතන වල ලොකු පුටුවල ඉන්න වංචාකාර ලොක්කන්ට පහළ මට්ටමේ ඉන්න අයගේ උදව් නැතුව හොරකම් කරන්න අමාරුයි. ඒ නිසා එහෙම අය ඔබෙන් උදවු ප්‍රාර්ථනා කළොත් කෙළින්ම ප්‍රතික්ෂේප කරන්න. අන්තිමට බොහෝවිට අමාරු වැටෙන්නේ ඔබ මිසක් මේ වංචා කරපු ලොක්කො නෙමෙයි.
ඒ වගේ හොර හිත් තියෙන, හොර වැඩ කරන මිනිස්සුත් එක්ක අවංක මිනිහෙක් විදිහට සේවය කරන්න හරි අමාරුයි.
ඒ වගේ අවස්ථාවල රැකියාවන්ගෙන් සමුගත් අවංක මිනිස්සු පවා සමාජයේ ඉන්නවා.

තමන්ගෙ ප්‍රශ්න වලින් ගොඩ එන්න උත්සාහ කරන අය සමහරවිට ඔබෙන් උදව් ඉල්ලන්න පුළුවන්. සාධාරනව හිතල බලලා සුදුසු නම් උදව් කරන්න.
ඒත් කිසිම උත්සාහයක් ගන්නේ නැති , කම්මැලි, හැමතිස්සේම අනුන්ගේ උදව්වෙන් යැපෙන්න බලාපොරොත්තුවෙන අයට උදව් කිරීම වහාම නවත්වන්න .
සමහරුන්ට තියෙන ලොකුම දුර්වලකම තමයි නෑ කියන්න බෑ කියන්න බැරිකම.
උදවුවක් ඉල්ලපුවම ඔබට ඒ උදව්ව කරන්න බැරි නම් ඒ වෙනුවෙන් කාලය ගත කරන්න බැරි නම්, මුදලක් වියදම් කරන්න බැරි නම් බය නැතුව පැකිලෙන්නෙ නැතුව කාරුණිකව ඒ පුද්ගලයාට පැහැදිලි කර දෙන්න ඔබට ඒ උදව්ව කරන්න බැරි බවත් ඒකට හේතුවත්.
සමහරු ඔබේ උදව් සත පහකට ගණන් ගන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ඔබේ උදව්වේ වටිනාකම තේරෙන්නේ නැති අයට ඔබේ උවමනාව නිසා දිගින් දිගට උදව් කරන්න යන්න එපා. සරල වචන වලින් කියනවනම් පැනලා උදව් කරන්න යන්න එපා.. ඔබ කරපු මෝඩකම ගැන තනියම නිහඬව විඳවන්න තමයි සිද්ධ වෙන්නේ.
අනිත් එක ඔබ වැරදි පුද්ගලයන්ට උදව් කරන්න ගියොත් හරි පුද්ගලයාට උදව් කිරීමේ අවස්ථාව නැතුව යනවා.
ඒ නිසා ඔබ හිත ශක්තිමත් කරගන්න. මේක ආඩම්බරකමක් නෙමෙයි. හැමදේටම වඩා වැදගත් වෙන්නේ ඔබේ සිතේ සාමයයි. ඔබේ හිතේ සාමය නැති කරගෙන හිතෙන් දුක් විඳින්න කලකිරෙන්න අවස්ථාව පාදගන්න එපා.

ඒ වගේම ඔබේ උදව් අවශ්‍ය නැහැ කියන ,ප්‍රතික්ෂේප කරන අයට උදව් කරන්න යන්නත් එපා . ඒ අයට එපා නම් මොකටද ඔබ නිකන් කරදර වෙන්නේ.
හොඳ හිතෙන් උදව් කරන්න ගිහින් අමාරුවේ වැටිච්ච අයත් ඕන තරම් ඉන්නවා. සමහර විට ඔබටත් ඒ වගේ අත්දැකීම් ඇති. උදාහරණයක් වශයෙන් හිතවතෙකුගේ බැංකු නයකට, නැත්නම් වාහනයක් ලීස් කරන්න ඇපකරුවෙක් වශයෙන් අත්සන් කරලා ඒ හිතවතා ඒක ගෙවන්නෙ නැති නිසා ඇපේට අත්සන් කරපු අයට ගෙවන්න වෙච්ච අවස්ථාවන් ඕන තරම් තියෙනවා.
මේ කතාව ටිකක් අහන්නකෝ.
එක ගෘහ නිර්මාණ ශිල්පියෙක් හිටියලු. එයා ගෘහ නිර්මාණ සැලසුම් සේරම ඇඳලා තියෙන්නේ පැන්සලෙන්. මේ පුද්ගලයා හැමදාම ළඟපාත තිබුණු ආපනශාලාවට ගිහින් හවස විකිණිලා නැතුව ඉතුරු වුනු ටිකක් වේළුණ බනිස් ගෙඩියක් අඩු මිලට ගන්නවලු.
ඔහුට බනිස් විකුණන වෙළඳ සේවිකාව ඔහු ගැන හරි අනුකම්පාවකින් ඉඳලා තියෙන්නේ .එක දවසක් නිර්මාණ ශිල්පියා වෙළෙඳ සේවිකාවට බනිස් ගෙඩිය ඇනවුම් කරලා ඉන්නැද්දි, ඒ වෙලාවෙම පාරේ ගිය ගිනි නිවන වාහනයක සද්දෙ ඇහිලා, ඒක බලන්න පිටතට ගියාලු.
ඒ අතරතුර අර සේවිකාව අර මනුස්සයාට සල්ලි නැතුව ඇති අලුත් බනිස් ගන්න… ඒක නිසා තමයි මේ පරණ බනිස් ගෙඩි ගෙනියන්නේ කියලා ඔහු ගැන අනුකම්පා හිතිලා ඔහු එන්න කලින් බනිස් ගෙඩිය ඇතුලට බටර් දාලා සෝස් දාලා රස කරලා හදල ඔතල තිබ්බලු.
අර පුද්ගලයා ඇවිල්ලා මිල ගෙවලා ඒක අරගෙන යද්දී සේවිකාව හිත යටින් සතුටු වුනාලු අසරණයෙකුට උදව්වක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන.
ඒත් ඊට පහුවදා වෙච්ච දේ ගැන දන්නවද?
අර ශිල්පියා තරහෙන් ඇවිත් අර සේවිකාවට හොඳටම බැන්නලු.
“ඔයා මොනවද මේ බනිස්ගෙඩියට කෙරුවේ?… මොනවද ඇතුලට දාලා තියෙන්නේ?… සේරම වැඩ විනාසයි… මම මගේ සැලසුම් අඳින්නේ පැන්සලෙන්. පැන්සලෙන් අඳිනකොට වැරදුනාම මකන්නෙ පරණ බනිස් වලින්. ඒ බනිස් වලින් රබර් ඉරේසරයකට වඩා හොඳට මැකෙනවා… ඔයා ඊයේ ඒකට බටර් දාලා සෝස් දාලා ඒකෙන් මකන්න ගිහිල්ල මගේ දුක් විඳලා ඇඳපු මුළු ප්ලෑන් එකම ඉවරයි… මට ආය පාරක් මුල ඉඳලම ඒක අදින්න සිද්ධ වුනා… මොන කෙහෙල් මලකටද ඔයා ඒ වැඩේ කෙරුවේ…” කියලා සේවිකාවට හොඳටම දොස් කිව්වලු.
බලන්න! හොඳ හිතින් උනත් උදව්වක් කරන්න ගිහිල්ල වෙච්ච දේ!
ඒ නිසා කෙනෙකුට උදව් කරද්දී ඉහත සඳහන් කරුණු සේරම හිතට අරගෙන සුදුසු පුද්ගලයාට සුදුසු වෙලාවට සුදුසු උදව්ව විතරක් කරන්න හිතට ගත්තොත් ඒක නුවණට හුරුයි නේද?

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

එතෙර - මෙතෙර