අපේ මධු සමයත් ගෙදරම තමයි – ශේෂාද්‍රි ප්‍රියසාද්

කලා ලෝකයේ තරුවකගෙ තාරකාවියකගෙ විවාහයක් කියන්නේ ටෙලි නාට්‍යයක් වගේ.

විවාහයට පෙර ෆ්‍රී ෂූට් එකෙන් පටන් ගත්තම ඊට පස්සෙ මංගල දිනය, මධු සමය, මධු සමය සදහා ගිය දෙස් විදෙස් හෝටල, ඒව‍ායේ සුන්දර දසුන්, දෙන්නා කාපු රස කෑම වර්ග එකී මෙකී නොකී තව රසවත් බොහෝ දේ සමඟ දෙවනි ගමන, දෙවනි ගමනින් පස්සෙ දෙන්නගෙ අලුත් පදිංචිය, අලුත් මනාලිය උයන පිහින හැටි, රෙදි සෝදන හැටි යනාදී බොහෝ‍ දේ තමන්ගෙ රසික රසිකාවියන් සමඟ විවිධ මාධ්‍ය මඟින් ඒ අය බෙදා හදා ගන්නවා. ඒ අතරෙ වැඩි සද්ද බද්ද නැතුව විවාහ වුණ අයත් ඉන්නවා.

තවත් සමහරු විවාහ වුණා කියලා දැන ගන්නෙ දරුවෙකුත් ලැබුණට පස්සෙ. කොහොම උණත් කොරෝනා විවාහ අපේක්ෂාවෙන් හිටපු බොහෝ දෙනෙක්ගෙ සිහින බොඳ කළා.

නළු නිළියො විතරක් නෙමෙයි විවාහ අපේක්ෂාවෙන් සිටි කෙල්ලො කොල්ලො හිතේ හැටියට මඟුලක් ගන්න බැරි වෙන නිසා දින නියමයක් නැතුව මංගල්ලෙ කල් දැම්මා. ඒ අතරේ මේ සංචරණ සීමා මැද්දෙ පසුගිය 20 වෙනිදා රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තාරකාවක් වුණ ශේෂාද්‍රි ප්‍රියසාද් සහ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වුණ ක්‍රිෂාන් මාලන් පෙරේරා බොහෝම චාමෙට විවාහ වුණා. ඔවුන් විවාහ වුණ බව රසික රසිකාවියන් දැනගත්තේ මුහුණු පොතෙන්.

ඒ විවාහයෙන් දින කීපයකට පස්සේ ශේෂාද්‍රි ඇයගේ මූණු පොතට “වියදම් අඩුවට කරකාරේ – ගත්තට අඩු නෑ ආලේ” කියන කවි පේලිය සමඟ මංගල ඡායාරූපයක පෝස්ටුව එක්කිරීමත් එක්ක. ජනප්‍රියත්වයේ හිනි පෙතේ සිටියදී ජීවිතේ බොහෝ හැල හැප්පීම් වලට මූණ දීලා කඩා වැටෙනවා වෙනුවට නැඟී සිටී ශක්තිමත් තරුණියක් වුණ ශේෂාද්‍රි, එයාගේ ජීවිතේ ආයෙමත් මුල ඉඳන් පටන් ගන්න තෝරා ගත්තේ ඇය වගේම ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා කෙළින් හිටගත් ක්‍රිෂාන්ව.

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පෙම් පලහිලව්ව ගැන කවුරුත් දන්නවා. කොරෝනාව සහ සංචරණ සීමා අස්සෙ වියදම් අඩු මංගල්ලයක් ගත් ශ්‍රේෂාද්‍රිට අපි කතා කළා. ඒ ඔවුන් ගෙ අලුත් ජීවිතයට සුබ පතන ගමන් අලුත් ජීවිතේ තොරතුරු දැන ගන්න.

කොරෝනා මැද්දෙ සද්ද බද්ද නැතුවම ශේෂාද්‍රි දීග ගියා?

ඔව්නේ. කොරෝනා නිසා සද්ද බද්ද දාන්න බෑ. කොහොමත් අපි දෙන්නා කැමති වුණේ සද්ද බද්දයක් නැතුවම විවාහ වෙන්න. ඒ නිසා
හිතුව විදියටත් වඩා චාමෙට අපි විවාහ වුණා.

ඒ කියන්නෙ මේ හදිස්සි තීරණයක් ද?

නෑ. අපි අගෝස්තුවේ විවාහ වෙනවා කියලා තීරණ කළේ අවුරුද්දකට කළින්. ඒ තීරණය කොරෝනා නිසාවත් වෙනස් කරන්න අපිට ඕන
වුණේ නෑ. හිතපු විදියට අපි අගෝස්තුවේ විවාහ වුණා.

 නැකතක් තිබ්බද?

නෑ. මමයි ක්‍රිෂානුයි කතෝලික. අපි දෙන්නටම ඕනෙ වුණේ කතෝලික සභාවෙ විවාහය ලියාපදිංචි කරන්න. මොකද ඒක කතෝලික අපිට හුඟක් වැදගත්. අපි හිතාගෙන හිටියේ 21 විවාහ වෙන්න. ඒත් අපිට එක දවසක් වෙනස් කරන්න වුණා. 21 වෙනුවට අපි 20 විවාහ වුණා.

මේ සංචරණ සීමා විවාහයට ප්‍රශ්නයක් වුණේ නැද්ද?

සංචරණ සීමා විතරක් නෙමෙයි සියලුම නීති රීති අකුරට පිළිපැද්දා. අපේ මංගල්ලෙට හිටයෙ අපි දෙන්නගෙ ගෙදර සමාජිකයො
විතරමයි.

ශේෂාද්‍රි – ක්‍රිෂාන් පෙම්වතුන් වෙන්න පාර කැපුවෙ ඩිනක්ෂි. නංගිට පෙම්වතියක් වෙන්න උදව් කරපු අක්කට නංගි පතිනියක් වෙන
දවසෙ ළඟින් ඉන්න බැරි වුණා ද?

ඔව්. අක්කි ඉන්න තත්ත්වයත් එක්ක පවුලේ අය එකතු වෙන තැනකට වුණත් එන එක පරිස්සම් මදි. ඒ නිසා අක්කිට මගේ වෙඩින් එකට එන්න බැරි වුණා. ඒක කණගාටුවක් තමයි. ඒත් මේ වෙලාවෙ අපි හිතන්න ඕන අක්කි ඉන්න තත්ත්වය ගැන. එයයි ලැබෙන්න ඉන්න දරුවයි දෙන්නම පරිස්සමින් ඉන්න ඕනෑ.

වෙඩින් එකෙන් පස්සෙ අක්කයි සාරංග අයියයි අපිව බලන්න ඇවිත් ගියා.

දෙන්නා මධුසමය ගත කළේ කොහෙද? රටින් පිට යන්න නම් බැරි වෙන්න ඇතිනේ?

අපි කොහෙවත් ගියේ නෑ.අපේ මධු සමයත් ගෙදරම තමයි. විවාහ වෙලා ආවෙ අපි දෙන්නගෙ ගෙදරට. ක්‍රිෂාන් විවාහයට කළින් එයාගෙ මහ ගෙදර උඩ තට්ටුව අපි දෙන්නා වෙනුවෙන් හැදුවා. දැන් අපි පදිංචි රාගම.

විවාහ වෙන්න කොරෝනා ඉවර වෙනකන් තව ටිකක් ඉවසලා හිටියා නම් හරි කියලා හිතෙන්නෙ නැද්ද?

නැහැ. මේ යන විදියට කොරෝනා කවදා ඉවර වෙයිද? ඉවර වුණත් අපේ විවාහයට වැඩිම වුණත් තව සමීපම කීප දෙනෙක් විතරක්

එකතු වෙයි. ඇත්තටම අපි සැලසුම් කරලා තිබුණෙ ඒ වගේ පුංචිම පුංචි විවාහයක් තමයි.

 ෆ්‍රී ෂූට් එකක් ගන්නත් කොරෝනාව හරස් වෙන්න ඇති?

මොන ෆ්‍රී ෂූට් ද? කොහොමත් අපේ විවාහයේ එහෙම දේවල් සැලසුම් කරලා තිබුණෙ නැහැ. විවාහ වුණ දවසේ ෆොටෝස් ටිකක් නම්
ගත්තා. වෙඩින් ෆොටෝ එකක් තියෙන්න ඕන නිසා.

 අලුත් ගෙදර අලුත් මනමාලිගෙ අලුත් ජීවිතය හොඳද?

ඔව්. ක්‍රිෂාන් මට උදව් කරනවා ගෙදර වැඩ කරගන්න. අපි දෙන්නා
එකතු වෙලා ලස්සනට ජීවිතය ගෙවන්න පටන් ගත්තා ඉතිං

 ශේෂාද්‍රි කොහොමත් උයන්න පිහන්න දක්ෂයිනේ?

ඔව්. කෑම හදන්න නම් පුළුවන්. මම හදන ඒවා කන්නත් ක්‍රිෂාන් කැමතියි.

හිරු සුපර් ඩාන්සර් වේදිකාවෙ අක්කාගෙ හිස්තැන දැන් ශේෂාද්‍රි පුරවනවා?

ඔව්. මේ දවස්වල නම් වැඩක් කියලා කරන්නෙ ඒක විතරයි.

මේ කොවිඩ් අස්සෙ රූගත කිරීම් වලදි බයක් දැනෙන්නෙ නැද්ද?

බොරු කියන්නෙ මොකටද බයයි. ඒත් අපි වැඩ කරන විට පුළුවන් උපරිමයෙන් සෞබ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා.

ටෙලි නාට්‍ය, චිත්‍රපට?

හොඳ වෙලාවට ස්වාධීන රූපවාහිනියෙ විකාශය වුණා මම සම්බන්ධ වුණ ආලියා ටෙලි නාට්‍ය විකාශය නිමා වුණා. බැරි වෙලාවත් ඒක
එහෙම නොවුණා නම් රූගත කිරීම් කරන්න වෙනවානේ. දැන් රටේ තියන තත්ත්වයත් එක්ක ඒක හරිම බයයි. ආරාධනා නම් කීපයක්ම
ආවා. කොවිඩ් නිසා අලුත් ඒවා පටන් ගත්තෙ නෑ.

විවාහය රංගනයට තහංචියක් වෙන එකක් නෑ නේ?

නෑ. ක්‍රිෂාන්ම තමයි මාව දිරිමත් කරන්නේ. හැබැයි මම කවදත් තෝරා බේරා ගෙන නේ රඟපාන්නේ. ඉදිරියත් එහෙම්ම තමයි.

ක්‍රිෂාන් ගැනත් කතා කරමු?

ක්‍රිෂාන් ඩොක්ට බැන්ඩ් එකේ සාමාජිකයෙක්. ඒ වගේ සංගීතඥයෙක්, ගායකයෙක් විදියට එයාට ලොකු ගමනක් යන්න පුළුවන්. අපි මේ
දවස්වල ඒ ගැනත් හිතනවා. ඊට අමතරව ක්‍රිෂාන් තොරතුරු තාක්ෂණය ආයතනයක කළමනාකරුවෙක් විදියට රැකියාව කරනවා.

මේ දවස්වල පැය අටේ රස්සාව කොරොනා නිසා ගෙදර ඉදන් කරනවා. ඒ නිසා පැය විසිහතරෙම එයා මාත් එක්ක ඉන්නවා.

අක්කා නම් ළඟදීම අම්මා කෙනෙක් වෙනවා. නංගි කවදාද අම්මා කෙනෙක් වෙන්නේ?

මම ඉස්සර හැම දෙයක්ම හොඳටම සැලසුම් කළා. අන්තිමේදී ඒ දේවල් කඩා වැටෙද්දි දරා ගන්න අපහසු වෙනවා. ඒ වේදනාව මම
ඇති වෙන්න වින්දා. දැන් මට අරමුණක් තියනවා. ඒත් කිසිම දෙයක් ඕනෑවට වඩා සැලසුම් කරන්නෙ නෑ. ක්‍රිෂාන් වුණත් එයාගෙ ජීවිතේ
වෙච්ච දේවල් වලින් ඉගෙන ගත්ත පාඩම තමයි ඒක. අම්මා කෙනෙක් වෙන්න ඕනෑ. ඒක අපි කාලෙට බාර දෙනවා.

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ලැබෙනවා නම් ඒ දේවල් ලැබෙන කාලෙට ලැබෙයි. හෙට අනිද්දා වුණත්, එහෙම නැත්නම් තව
අවුරුද්දකින් – දෙකකින් වුණත් ලැබෙන විදියට හැමදේම බාර ගන්න අපි දෙන්නා සූදානම් වෙනවා.

හිමේෂා සවන්තී රාජපක්ෂ

රසගඟුල