කතානායකට එරෙහි දූෂණ චෝදනා: පාර්ලිමේන්තු උසස් නිලධාරීන් තිදෙනෙක් අල්ලස් කොමිසමට

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාසම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනකු ඊයේ (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.
එලෙස කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන නිලධාරීන් තිදෙනා බව වාර්තා වේ. ඔවුන් අදාළ විමර්ශනයට අවශ්‍ය ලිපි ලේඛන සහ තොරතුරු ද ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.
කථානායකවරයාට ලබාදී ඇති නිල නිවාස, නිල වාහන, ඒවා සඳහා ලබාගත් ඉන්ධන, පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාරපාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අදාළ තොරතුරු ඇතුළු ලේඛන ලබාදෙන ලෙස අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට මීට පෙර දැනුම් දී තිබිණි. මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුවය. ඔහු පසුගිය පෙබරවාරි 2 වැනිදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අදාළ චෝදනා සම්බන්ධ ලිපිගොනු රැසක්ද කොමිසමට භාරදී තිබේ. කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා අතර නිල වාහන හා ඉන්ධන අවභාවිතය, නිල නිවාස සම්බන්ධ කරුණු, පාර්ලිමේන්තුවෙන් ආහාර ලබාගැනීම සහ පාර්ලිමේන්තු සම්පත් භාවිතය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ චෝදනා ඇතුළත් බව මීට පෙර වාර්තා වී තිබිණි.

කාලීන පුවත්