මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් වසා දැමීමට සිදුව ඇති පසුබිම තුළ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව සංවිධානය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වෙන බවයි.විභාග පැවැත්වෙන කාලසීමාව තුළ මතුවිය හැකි ඕනෑම තත්ත්වයකට සාර්ථකව මුහුණදීම සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස, විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා එක්ව මෙම මස 5 වනදා අදාළ සාකච්ඡාව සංවිධානය කර ඇත.සාමාන්‍යයෙන් අගෝස්තු මාසය අඩු වර්ෂාපතනයක් වාර්තා වන කාලපරිච්ඡේදයක් වුවද, මෝසම් කාලගුණය සක්‍රීය වීම හේතුවෙන් වර්තමානයේ තාවකාලික වශයෙන් වැසි සහිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.කෙසේ වෙතත්, එළඹෙන 6, 7 සහ 8 යන දිනවලින් පසුව පවතින වර්ෂාපතනයේ යම් අඩුවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. අදාළ විභාග කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ 10 වනදායින් පසුව බැවින්, එම කාල සීමාව වන විට මෙම අයහපත් කාලගුණික බලපෑම විශාල වශයෙන් අඩුවනු ඇතැයි ගණන් බලා තිබේ.එසේ වුවද, එළඹෙන 6 වනදායින් පසුව පැසිෆික් සාගර කලාපයේ ඇතිවන චක්රවාත තත්ත්වයක බලපෑම නිසා දිවයිනේ වර්ෂාපතනයේ යම් ප්‍රමාණයක වැඩිවීමක් සිදුවිය හැකි බවද අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.