ආමීර් ඛාන් ගේ දියණිය අයිරා යුග දිවියට

vinivida

ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ දියණිය වන අයිරා ඛාන් පසුගිය දා යුග දිවියට ඇතුළත් වුණා. 26 වැනි වියෙහි පසුවන අයිරා විවාහ වූයේ නූපූර් ශිකාරේ සමග යි. 37 හැවිරිදි නූපූර් ආමීර් ඛාන්ගේ ශාරීරික යෝග්‍යතා උපදේශකවරයා යි.

අයිරා ඛාන් ආමීර්ගේ පළමු විවාහයේ දියණියක්. ආමීර් මුලින් විවාහ වී සිටියේ රීනා දත්තා සමග යි. 1986 වසරේ විවාහ වූ ඔවුන් 2002 වසරේ එකිනෙකාගෙන් දික්කසාද වුණා. එම විවාහයෙන් ආමීර්-රීනා දෙදෙනාට දරුවන් දෙදෙනෙකු ලෑබුණා. ඒ අයිරා සහ ජුනයිඩ්. පසුව ආමීර් තවත් විවාහයක් කර ගත් අතර ඔහුගේ දෙවැනි බිරිඳ වූයේ කිරන් රාඕ. එම විවාහයෙන් ද ආමීර්ට තවත් පුතෙකු සිටිනවා. ඔහුගේ නම අසාද් රාඕ ඛාන්.

අයිරා සහ නූපූර් අතර සම්බන්ධය ඇති වී තිබුණේ 2020 වසරේ යි. හරියටම කියතොත් කොවිඩ් වසංගතය නිසා ඉන්දියාව තුළ ද අගුලුලෑම් ක්‍රියාත්මක වූ සමයේ යි. මේ කාලයේ අයිරා සිය පියා සමග කාලය ගත කිරීමට ඔහුගේ නිවසට පැමිණ තිබුණා. මේ දිනවල ඇයත් සිය ශාරීරික යෝග්‍යතාව ගැන විශාල උනන්දුවක් දැක්වුවා ලු. එහි දී නූපූර්ගෙන් ඇයට ලොකු සහයෝගයක් ලැබුණු බව සඳහන් වෙනවා. ආදර සම්බන්ධයක් දක්වා දුර දිග ගොස් තිබුණේ මේ ආකාරයෙන් ආරම්භ වූ ඇසුර යි.

අයිරා පසුගිය කාලයේ මානසික ගැටලුවකටත් මුහුණ දී සිටියා. ඇය විශාදය (Depression) -නැමැති මානසික ගැටලුවෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටි අතර ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගත්තා. ඇය විශාදයට ගොදුරු වූයේ මන්ද යන්න පැහැදිලි නැහැ. සිය මව්පියන් එකිනෙකාගෙන් වෙන් වීම නිසා ඇති වුණු ගැටලුත් මෙයට හේතුවක් වන්නට ඇති බවට අදහස් පළ වෙනවා.

කෙසේ නමුත් අයිරා තමාගේ මෙම තත්ත්වය වසන් කරන්නට උත්සාහ කරන්නේ නැහැ. පසුගිය කාලය පුරාම ඇය මේ ගැන ඉතා විවෘතව කතා කළා. මේ අතර ආමීර් ඛාන් වරක් සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබුණේ අයිරාට මෙම මානසික ගැටලුවෙන් ගොඩ ඒමට නූපූර්ගෙන් ද විශාල සහයක් ලැබුණු බවයි. අයිරා සහ නූපූර් එකිනෙකා ගැන විශාල අවබෝධයකින්, දැඩි ආදරයෙන් සිටින දෙදෙනෙකු බව සඳහන් වෙනවා.

අයිරා- නූපූර් දෙදෙනාගේ විවාහය ලියා පදිංචි කෙරුණේ ජනවාරි 3 වැනි දින යි. එම උත්සවය පැවැත්වුණේ මුම්බායි හි Taj Lands End හෝටලයේ යි. මෙම අවස්ථාවට සහභාගි වූයේ පවුලේ සාමාජිකයන් සහ කිට්ටුම හිත මිතුරන් පමණයි. උත්සවයට නූපූර් පැමිණ තිබූ ආකාරයත් ලොකු අවධානයක් දිනාගෙන තිබුණා. ශාරීරික යෝග්‍යතා උපදේශකවරයකු වන ඔහු එම ස්ථානයට පැමිණ තිබුණේ ව්‍යායාම සඳහා අඳින බැනියමකින් සහ කොට කලිසමකින් සැරසී පාර දිගේ දුවමිනු යි. ඔහු කිලෝමීටර ගණනක් මේ ආකාරයෙන් දිවගෙන විත් තිබූ බව සඳහන් වුණා. නූපූර් සමග ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු ද දුවමින් පැමිණ තිබූ අතර ඒ බැව් දැක්වෙන ඡායාරූප සහ විඩියෝ ද මාධ්‍ය තුළ පළ වී තිබුණා. නූපූර් විවාහය ලියාපදිංචි කිරීමේ ලියකියැවිලිවලට අත්සන් කර තිබුණේත් එම ඇඳුම් පිටින්ම යි. ඇතැමුන් මෙයට වැඩි කැමැත්තක් දක්වා නොතිබුණු බව සමාජ මාධ්‍ය තුළ පළ වූ සටහන්වලින් පෙනුණා.

ඉන්දියාවේ විවාහ ලියා පදිංචි කිරීමේ අවස්ථාවට සාමාන්‍යයෙන් මනාලයා පැමිණෙන්නේ අශ්වයකු පිටේ යි.

3 වැනි දින විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු නව යුවළ රාජස්ථාන් ප්‍රාන්තයේ උදයිපූර් නගරය වෙත පිටව ගියා. ඔවුන් ගුවන් තොටුපලේ දී ගත් ඡායාරූපත් මාධ්‍ය තුළ පළ වී තිබුණා. අයිරා සහ නූපූර් දෙදෙනාගේ විවාහ උත්සවයක් ලබන 8 වැනිදා මහත් උත්කර්ෂවත් අයුරින් උදයිපූර් හි පැවැත්වීමට නියමිත යි. මෙයට ඉතා විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බවත් පැවසෙනවා. මාධ්‍ය වාර්තා කරන ආකාරයට තවත් විවාහ සාදයක් ලබන 13 වැනි දිනත් පැවැත්වෙනවා. සිනමා ක්‍ෂේත්‍රයේ අයට ආරාධනා කර තිබෙන්නේ මෙම සාදයට බවයි පැවසෙන්නේ. එය පැවැත්වීමට නියමිතව ඇත්තේ මුම්බායි නුවර යි. ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අමිතාභ් බච්චන්, අජේ දේව්ගන්, ආක්ෂේ කුමාර්, කරීනා කපූර්, ජුහි චව්ලා ඇතුළු නළු නිළියන් ද, සිනමාවට සම්බන්ධ තවත් අධ්‍යක්‍ෂවරුන් ඇතුළු බොහෝ දෙනෙක් ද මෙම සාදයට සහභාගි වීමට නියමිත බව මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

නිහාල් පීරිස්

රසගඟුල