ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති.

69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල එරට ජනාධිපතිනි දෞපදි මුර්මුගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නව දිල්ලි නුවර දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සටහන එහි දී ප්‍රධාන සම්මාන දිනාගත් කලාකරුවන් සහ සිනමා නිර්මාණ පිලිබඳව ය

මෙවර සම්මාන පිරිනැමුණේ 2021 වසරේ තිරගත වූ චිත්‍රපටවලට අදාලව යි. මෙම නිර්මාණවලට සම්මාන පිරිනැමීමට නියමිතව තිබුණේ 2022 වසරේ ය. නමුත් කොවිඩ් වසංගතය නිසා එම වසරේ සම්මාන උළෙල කල් දැමීමට සිදු විය.

උළෙලේ ඉහළම සම්මානය වන හොඳම වෘත්තාන්ත සිනමාපටය සම්මානය මෙවර දිනාගත්තේ Rocketry: The Nambi Effect නැමැති සිනමාපටය යි. හින්දි භාෂාවෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය එරට සිදු වූ සත්‍ය සිදුවීමක් පසුබිම් කරගෙන නිර්මාණය වූවකි. ඉන්දියාවේ අභ්‍යවකාශ කටයුතු භාරව සිටින ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තුළ සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධියක් මෙයට පසුබිම් වෙයි.

එහි කටයුතු කළ ප්‍රධාන විද්‍යාඥයකු වූ නම්බි නාරායනන් එම ආයතනයේ තාක්‍ෂණික රහස් වාගයක් හොර රහසේ පාකිස්තානයට විකුණා ඇති බවට චෝදනාවක් එල්ල වූ අතර මේ නිසා නාරායනන් දේශද්‍රෝහියකු හැටියට දරුණු ලෙස හංවඩු ගැසෙයි. එය ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ අය පවා දැඩි අපකීර්තියට පත් කරන්නක් බවට පත් වෙයි. කිසිදු වරදක් නොකළ නාරායනන්ට මෙම ලැජ්ජාවෙන් ගැලවීම සඳහා විශාල සටනක් කරන්නට සිදු වෙයි. අවසානයේ හෙලි වන්නේ වෙනත් බලවත් රටක් වුවමනාවෙන්ම ඔහු කරදරයේ දැමීම සඳහා කුමන්ත්‍රණයක් කර ඇති බවයි. ඔවුන් එලෙස කර ඇත්තේ ඉන්දියාව අභ්‍යවකාශ යානා තාක්‍ෂණයෙන් ඉදිරියට යාමට වැලැක්වීම සඳහා බව ද හෙලි වෙයි.

Rocketry: The Nambi Effect චිත්‍රපටයේ නම්බි නාරායනන්ගේ චරිතය නිරූපනය කරන්නේ ජනප්‍රිය නළු මාධවන් ය. මෙම සිනමාපටයේ අධ්‍යක්‍ෂවරයා ද ඔහු වන අතර මෙය මාධවන් අධ්‍යක්‍ෂණය කළ පළමු සිනමාපටය වීම විශේෂත්වයකි.

මෙවර සිනමා උළෙලේ දී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ තෙලිගු නළු අල්ලු අර්ජුන් ය. ඒ පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රිය වූ Pushpa: The Rise තෙලිගු චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි. හොඳම නිළිය සම්මානය නිළියන් දෙදෙනකු අතර බෙදී ගිය අතර ඒ ආලියා භාත් සහ ක්‍රිති සැනොන් යන දෙදෙනා අතර යි. ආලියාට සම්මානය හිමි වූයේ සංජේ ලීලා බන්සාලි අධ්‍යක්‍ෂණය කළ ‘ගංගුබායි කතියාවාදි’ සිනමාපටය වෙනුවෙනි. ‘මිමි’ නැමැති සිනමාපටයේ කළ රංගනය වෙනුවෙන් ක්‍රිති සම්මාන හිමි කරගත්තාය.

පසුගිය කාලයේ ලොව පුරා උන්මාදයක් බවට පත් වූ RRR සිනමාපටය මෙවර උළෙලේ දී ජනප්‍රියම සිනමාපටය ලෙස සම්මානයට පාත්‍ර විය. උළෙලේ දී වැඩිම සම්මාන ගණනක් හිමි කරගත්තේ ද මෙම සිනමාපටය යි. හොඳම සංගීතය, හොඳම නර්තන වින්‍යාසය, හොඳම දුෂ්කර ජවනිකා නිර්මාණය, හොඳම පසුබිම් ගායකයා, හොඳම විශේෂ ප්‍රයෝග යන සම්මාන එයට හිමි වූ සෙසු සම්මාන ය. මෙම චිත්‍රපටයේ නාටු නාටු නැමැති ගීතය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම ගීතයට හිමි සම්මානය දිනාගත්තේය.

හොඳම අධ්‍යක්‍ෂ ලෙස සම්මාන දිනා ගත්තේ නිකිල් මහජන් ය. ඒ ‘ගෝදාවරි’ සිනමාපටය වෙනුවෙනි. මරාති සිනමාපටයක් වන මෙය ගෝදාවරි නදිය ආසන්නයේ ජීවත් වන පවුලක් කේන්‍ද්‍ර කරගත් කතාවක් රැගත් සිනමාපටයකි.

ඉන්දියාවේ විවිධ භාෂාවලින් නිශ්පාදනය වන හොඳම චිත්‍රපටවලට ද ජාතික සිනමා උළෙලේ දී වෙන වෙනම සම්මාන පිරිනැමේ. මෙවැනි ප්‍රාදේශීය චිත්‍රපට ලංකාවේ ප්‍රේක්‍ෂකයන් අතර ද බෙහෙවින් ජනප්‍රිය ය. හොඳම මලයාලම් චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ රොජින් තෝමස් අධ්‍යක්‍ෂණය කළ Home චිත්‍රපටය යි. රාජ්දීප් පෝල් සහ සර්මිස්තා මයිති අධ්‍යක්‍ෂණය කළ Kalkokkho හොඳම බෙංගාල සිනමාපටය ලෙස සම්මාන දිනාගත්තේය. හොඳම තෙලිගු සිනමාපටය ලෙස බුචි බාබු සානා අධ්‍යක්‍ෂණය කළ Uppena ද, හොඳම කන්නඩ සිනමාපටය ලෙස කේ කිරන්රාජ් අධ්‍යක්‍ෂණය කළ 777 Charlie ද සම්මාන ලැබූහ. හොඳම දෙමළ සිනමාපටය වූයේ එම්. මනිකාන්දන් අධ්‍යක්ෂණය කළ කදායිසි විවසායි චිත්‍රපටය යි.

Gandhi & Co හොඳම ළමා සිනමාපටය හැටියටත්, The Kashmir Files ජාතික ඒකාග්‍රතාව පිලිබඳ හොඳම චිත්‍රපටය හැටියටත් සම්මාන දිනාගත්තේය.

නිහාල් පීරිස්

රසගඟුල