ආවාට ගියාට නොකළ යුතු රාජ්‍ය සේවක අතිරික්තය අවම කිරීම

sunil

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව පිළිබඳව විවිධ අදහස් පළවෙමින් පවතී. මාධ්‍ය ඔස්සේ පැතිරෙන අදහස් වලට අනුව රටේ සමස්ත ආර්ථිකයට ඔරොත්තු නොදෙන දැවැන්ත රාජ්‍ය සේවාවක් නඩත්තු කිරීමට සිදුවීම මේ අර්බුදයට ද එක් ප්‍රධාන හේතුවක් වී ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් වරයාම පළ කළ අදහසකට අනුව රාජ්‍ය සේවාවේ තුනෙන් පංගුවක් අඩුකර වුව ද මේ පවතින මහජන සේවාවන් එලෙසම පවත්වා ගෙන යා හැකි වේ. ඉන් අදහස් කරන්නේ රාජ්‍ය සේවාවේ තුනෙන් එකක් පමණ අතිරික්ත සේවකයින් බවයි.

වර්තමාන රාජ්‍ය සේවාව ලක්ෂ දාසයක් සේ සැලකුවොත් ලක්ෂ පහකට අධික ප්‍රමාණයකින් රාජ්‍ය සේවයේ අතිරික්තයක් පැවැතීම සත්‍යයක් නම් එය බෙහෙවින් හානිදායක ය. රාජ්‍ය සේවාවේ නිශ්චිත තනතුරු පුරප්පාඩු නොමැතිව බඳවා ගැනීම් මීට හේතුව බව මේ පිළිබඳ රාජ්‍ය පරිපාලන ලේකම් වරයාම ප්‍රකාශ කරනු ද ඇසුණි. මෙසේ පුරප්පාඩු නොමැතිව රාජ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගත් බවට චෝදනා කරන්නේ කාහට දැයි පැහැදිලි නොවන්නේ රාජ්‍ය සේවාවේ ශීඝ්‍ර පුළුල් ව්‍යාපෘතියට හේතු වූයේ දේශපාලන තීරණ පමණක්ම නොව රාජ්‍ය නිලධාරීන්ම සම්බන්ධ වූ පරිපාලන තීරණ ද නිසා ය. රාජ්‍ය සේවාවේ ගත වූ වසර තිස්පහක් හතළිහක කාලය තුළ සිදු වූ වර්ධනය මගේ පුද්ගලික අත්දැකීම් ද සමඟ විශ්ලේෂණය කර බැලීම වැදගත් යැයි සිතෙන්නේ මෙසේ රාජ්‍ය සේවාව අතිරික්ත යැයි වර්තමානයේ පළවන අදහස් ඒ පිළිබඳව වූ අධ්‍යයනයකින් පසුව පළ කරන ඒවායැයි යැයි විශ්වාස කළ නොහැකි නිසා ය.

මා ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවාවට බැඳුණු 1985 කාලයේ දී රාජ්‍ය සේවාවේ අනුමත පුරප්පාඩු වලට අනුව බඳවා ගත් බව මට මතක ය.වසරක පුහුණු කාලය තුළ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය තුළ දී පුන පුනා ඉගැන්වූයේ බඳවා ගැනීමක් කළ හැක්කේ පුරප්පාඩු වූ තනතුරක් ඇත්නම් පමණක් යනුවෙනි. ඒ අනුව පවතින තනතුරු වල ඇති වන පුරප්පාඩු හා කාලීනව ඇති කරන නව තනතුරු සංඛ්‍යාවන් සඳහා තරඟ විභාග මත බඳවා ගැනීම් සිදුවිය. එසේම කලින් කලට රජයේ තීරණ වලට අනුරූපව විවිධ රාජ්‍ය ආයතන ආරම්භ වූ අතර ඒවා සඳහා කාර්ය මණ්ඩල ද අනුමත කරන ලදී. 1995 දී සමෘද්ධි සංවර්ධන වැඩසටහන නමින් දිළිඳුකම පිටුදැකීම සඳහා වන ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඒ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක් සඳහාම සමෘද්ධි නියාමකයින් දෙදෙනෙකු බැගින් කොන්ත්‍රාත් පදනමින් පත් කිරීමටත් ඉන්පසුව එම තනතුරු වලින් එකක් සමෘද්ධි අධිකාරිය යටතේ සංවර්ධන නිලධාරී තනතුරක් ලෙසත් අනික් තනතුර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුර ලෙසටත් ස්ථිරව ග්‍රාම සේවා වසම් මට්ටමින් ස්ථාපිත කරන ලදී.

එමෙන්ම 1998 වසරේ උපාධිධාරීන් රාජ්‍ය සේවාවට බඳවාගෙන සමෘද්ධි කළමනාකරුවන් ලෙස සමෘධි අධිකාරියටත් සංවර්ධන සහකාර නම් වූ තනතුරකට විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වලටත් අනුයුක්ත කිරීමට ක්‍රියා කළේය. මෙහිදී විධිමත්ව ඒ සියලු තනතුරු ඇති කළ බවත් පැහැදිලි කළ යුතු වේ. මේ තනතුරු ඇති කිරීම කවර කලකදීවත් සරලහෝ පහසු ක්‍රියාවක් නොවීය. යම් රාජ්‍ය ආයතනයකට යම් තනතුරක් අලුතින් ඇති කළ යුතු වූයේ නම් ඒ සඳහා නියමිත මුදල් රෙගුලාසි ප්‍රකාරව භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු විය. එහිදී තනතුර ඇති කිරීම සාධාරණීකරණයට අවශ්‍ය සියලු විස්තර සකස් කර අදාල අමාත්‍යංශයේ ද නිර්දේශය සහිතව භාණ්ඩාගාරයේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු ය. භාණ්ඩාගාරයේ මේ පිළිබඳ සෑහෙන අධ්‍යයනයකින් පසුව තීරණයක් ගනු ලැබේ. මේ සඳහාම වන විශේෂ දෙපාර්තමේන්තුවක් ද භාණ්ඩාගාරයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව නමින් පිහිටුවා ඇත.

එසේම රාජ්‍ය සංස්ථා මණ්ඩල හා අධිකාරී ඇතුළු ආයතන නියාමනයටත් ඒවායේ නව තනතුරු ඇති කිරීමට අනුමැතිය ලබා ගත යුතු රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවක් ද මහා භාණ්ඩාගාරය යටතේ පවතී. අලුත් රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හා වැටුප් හා සේවක සංඛ්‍යා කමිටුවේ නිර්දේශ ද නව තනතුරු සඳහා අවශ්‍ය වේ. ඒ නිසා බඳවා ගැනීම් ලෙස තනතුරු වලට බඳවා ගැනීමක් කළා නම් ඒ අදාළ තනතුර අනුමත කිරීමෙන් පසුව පමණක් කළ බඳවා ගැනීමක් විය. එසේ නොමැතිව අමාත්‍ය මණ්ඩල තීරණ මත අභ්‍යාසලාභීන් ලෙස උපාධිධාරීන් බඳවා ගෙන පුහුණු කර රාජ්‍ය සේවාව තුළ තනතුරු අනුමත කර එකී තනතුරු වලට ඔවුන් අනුයුක්ත කිරීම් ද අවස්ථා ගණනාවකදී සිදු විය. ඒ අන්දමට 2005 වර්ෂයේ දී උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගෙන විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු යටතේ සංවර්ධන සහකාර තනතුරු ඇති කර අනුයුක්ත කරන ලදී. යළිත් 2012, 2018 හා 2020 වර්ෂ වල උපාධිධාරීන් රාජ්‍ය සේවාවට බඳවාගෙන පුහුණුවක් ලබා දී ඉන්පසු රාජ්‍ය සේවාවේ අනුමත කාර්ය මණ්ඩලය යටතේ ස්ථාපිත සංවර්ධන නිලධාරි සේවාවට අනුයුක්ත කරන ලදී. මීට අතිරේකව 1992/93 වර්ෂවලදී එතෙක් දිස්ත්‍රික් මට්ටමේ තිබූ ප්‍රාදේශීය පරිපාලනය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමට විමධ්‍යගත කර ප්‍රාදේශීය මහලේකම් කාර්යාල ඇති කරන ලදී.

ඊට පෙර 1987 දී පමණ ග්‍රාම පරිපාලනයේ විශාල වෙනසක් ඇති කරවමින් ග්‍රාම නිලධාරී කොට්ඨාශ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කරමින් වගා නිළධාරී විශේෂ සේවා නිළධාරී හා කෘෂි ව්‍යාපෘති සේවක යන තනතුරු ග්‍රාම නිලධාරි සේවාවට ඒකාබද්ධ කර ග්‍රාම පරිපාලනයේ එතෙක් පැවති ඒකකය කුඩා කර සංඛ්‍යාත්මකව වැඩි කිරීමට කටයුතු කරන ලදී. මේ ග්‍රාම පරිපාලනයේ ඇති කළ වෙනස්කම් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමට බලය විමධ්‍යගත කිරීම නිසා ඒ මට්ටම් වලින් නව තනතුරු දහස් ගණනක් ඇති කිරීමට සිදු වූ බව අමතක නොකළ යුතු ය.එමෙන්ම වරින් වර රාජ්‍යයන් විසින් ඇති කළ අමාත්‍යංශ සංඛ්‍යාව වැඩිකිරීම නිසා ද රාජ්‍ය සේවාවේ තනතුරු සංඛ්‍යාව වර්ධනය කිරීමට සිදු වූ අන්දම ද අප සලකා බැලිය යුතු ය. 2000 වසර පමණ වන තුරු රටේ අමාත්‍යංශ සංඛ්‍යාව විසිපහ ඉක්මවා නොතිබුණි.ඉන්පසුව කෙමෙන් අමාත්‍යංශ සංඛ්‍යාව වර්ධනය වී 205 වන විට පනහක් ඉක්ම වූ කැබිනට් අමාත්‍යංශ සංඛ්‍යාවක් රටේ ඇති කරන ලදී. මෙසේ අමාත්‍යංශ සංඛ්‍යාව දෙගුණ වීමත් සමඟ ඒ අමාත්‍යංශවල නිළධාරීන් සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් වැඩි කිරීමට සිදුවිය.

මේ සඳහා හොඳම උදාහරණය ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් පෙන්වා දිය හැකිය. අප රාජ්‍ය සේවාවට ඇතුළු වෙද්දී ස්වදේශ කටයුතු නමින් වෙනම අමාත්‍යංශයක් විය. එහි වූයේ ලේකම් වරයෙක් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරුන් දෙදෙනෙක් හා සහකාර ලේකම් වරුන් තුන් දෙනෙකු හා ගණකාධිකාරීවරයෙකු පමණි. ඉන්පසු ස්වදේශ කටයුතු විෂය රාජ්‍ය පරිපාලන විෂය සමඟ ඒකාබද්ධව එකම අමාත්‍යංශයක්ව පැවතුණි. එවක ස්වදේශ කටයුතු අංශයේ මාණ්ඩලික නිලධාරීන් වූයේ එක අතිරේක ලේකම් වරයෙකු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් තිදෙනෙකු හා සහකාර ලේකම්වරු තිදෙනෙක් පමණි. ඔවුන් යටතේ රාජ්‍ය කළමණාකරණ සේවාවේ නිලධාරීන් හා කාර්යාල සහායක හා රියැදුරු සේවාවේ සුළු සංඛ්‍යාවක් සේවය කළහ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අට වන මහල හා වෙනත් මහලක සුළු කොටසක පවත්වා ගෙන ගිය ග්‍රාම නිලධාරී පාලන අංශය පමණක් ස්වදේශ කටයුතු විෂයට අයත් විය.

එහෙත් 2015 දී එවක පැවති ආණ්ඩුව යටතේ ස්වදේශ කටයුතු විෂය වෙනම අමාත්‍යංශයක් ලෙස වෙන් කිරීම නිසා අමාත්‍යංශ ලේකම් වරයෙකු යටතේ අතිරේක ලේකම් වරු පස් දෙනෙකු අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු ප්‍රධාන ගණකාධීවරයෙකු යටතේ ගණකාධිකාරීවරුන් සිව් දෙනෙකු සහකාර ලේකම් වරු පස් දෙනෙකු ඇතුලුව විශාල කාර්ය මණ්ඩලයක් එම අමාත්‍යංශයට ඇති කරන ලදී. රාජ්‍ය පරිපාලන ගොඩනැගිල්ලේ මහල් එකයි කාලක පවත්වා ගෙන ගිය කාර්යාලය නාරාහේන්පිට නිල මැදුර ගොඩනැගිල්ලේ මහල් අටක පවත්වා ගෙන යන විශාල කාර්යාලයක් බවට පත් විය.

මේ අන්දමින් අනිකුත් අමාත්‍යංශවලට ද කාර්ය මණ්ඩල වර්ධනය වීම නිසා රාජ්‍ය සේවාවේ අනුමත කාර්ය මණ්ඩලය ශීඝ්‍රයෙන් වර්ධනය වී රාජ්‍ය සේවාව ද පුළුල් විය. මේ අමාත්‍යංශවල කාර්ය මණ්ඩල පුළුල් වීම අමාත්‍යංශ විසින් හිතුමතේ ගත් තීරණ මත නොව භාණ්ඩාගාරයේ නියමිත අනුමැතිය පරිදි තනතුරු අනුමත කිරීමෙන් පසුව ඇති කළ පුළුල් කිරීමකි. 1987 දී පළාත් සභා ඇති වීම ද රාජ්‍ය සේවාව පුළුල් වීමට බලපෑ ප්‍රධාන කරුණකි. රජයේ එක අමාත්‍යංශයකින් ඉටු කෙරුණු අධ්‍යාපනය සඳහා රජයේ අමාත්‍යංශයක් ද පළාත් සභාවල අමාත්‍යංශ නමයක් ද ස්ථාපිත කෙරිණි. අනිකුත් විෂයන් අරභයා ද වූයේ මෙයම ය. සෑම පළාතක් සඳහාම අමාත්‍යංශ පහ බැගින් පිහිටුවීම පළාත් දෙපාර්තමේන්තු ඇතිවීම ආදිය නිසා ද රාජ්‍ය සේවාව සීග්‍ර වර්ධනයකට ලක් කෙරිණි.

මෙහිදී රටේ අභ්‍යන්තර පැවති යුද තත්වය මත ආරක්ෂක හමුදා හා පොලිස් සේවාවේ ඇතිවූ ශීඝ්‍ර වර්ධනය රාජ්‍ය සේවාව පුළුල් වීමට සෑහෙන අන්දමේ බලපෑම් ඇති කළ හේතුවක් විය. මේ වන විට ලක්ෂ තුනක් ඉක්ම වූ ආරක්ෂක හා පොලිස් සේවාවක් රටේ පවතින්නේ 1985 වන විට ලක්ෂයකට වඩා අඩු සංඛ්‍යාවක පැවතුණු ආරක්ෂක හා පොලිස් සේවාවකි. යුද්ධය අවසන් වීමෙන් පසුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් සඳහා විශ්‍රාම වැටුප් පහසුකම් ප්‍රදානය කිරීම නිසා තවත් 45000 කින් පමණ රාජ්‍ය සේවාව පුළුල්වීම සිදු වූයේ මීට අතිරේකව ය.

මේ අන්දමින් රාජ්‍ය සේවාවේ තනතුරු සංඛ්‍යාව වර්ධනය සිදුවූයේ හුදෙක් දේශපාලනික තීරණ මත රැකියාවන් දීමටම පමණක් නොවේ. ඉහත විස්තර කළ පරිදි රාජ්‍ය සේවාවේ තනතුරු වැඩිවීමට රාජ්‍ය පරිපාලනය භාණ්ඩාගාරය වැනි ආයතනවල තීන්දු තීරණ ද සෑහෙන දුරට හේතු වී ඇත. කිසිදු අධ්‍යයනයකින් තොරව බහුකාර්ය සංවර්ධන නමින් දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර අ.පො.ස. අසමත් පිරිස් රාජ්‍ය සේවයට බඳවා ගත් මෑත කාලයේ ගත් අත්තනෝමතික තීරණය හැර අනිකුත් අවස්ථාවල රාජ්‍ය සේවාව පුළුල් වීම සිදු වුණේ කිසියම් අන්දමක සේවාවන් සැපයුම වඩාත් පුළුල් කිරීමේ ක්‍රමවේදයන් වල ප්‍රතිඵල ලෙසට ය.මේ පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී ග්‍රාමීය මට්ටමේදී 1985 වන විට සිටියේ රජයේ නිලධාරීන් දෙදෙනෙකි. ඒ ග්‍රාම සේවා නිලධාරී හා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය පමණි.

මේ දෙදෙනා අධිරාජ්‍යවාදී යුගයේ පවා ග්‍රාමීය මට්ටම් රාජ්‍ය සේවාව සැපයූ තනතුරු දැරුවෝ වෙති. එදා ග්‍රාම නිලධාරී කොට්ඨාශ සංඛ්‍යාව හාරදහසකට මඳක් වැඩි විය. අද වන විට ග්‍රාමීය මට්ටම කොට්ඨාශ සංඛ්‍යාව දාහතර දහසක් වී සමෘධි කෘ.ප.නි.ස. හා ආර්ථික සංවර්ධණ නිලධාරී ලෙස තවත් නිලධාරීන් තිදෙනෙකු එම කොට්ඨාශයකට එකතු වී ඇත.ග්‍රාමීය මට්ටමේ පමණක් රාජ්‍ය සේවයේ තනතුරු පනස් දහසකට වඩා වැඩි වී තිබේ. මේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ වල ද නාගරිකව ඇතැම් කොට්ඨාශයක විසි පන්දහස ඉක්ම වන ජනගහනයක් ජීවත් වෙද්දී ග්‍රාමීයව පන්සීයට අඩු ජනගහණයක් ජීවත් වන ග්‍රාම නිලධාරී කොට්ඨාශ ද සෑහෙන සංඛ්‍යාවක් පවතී. ප්‍රාදේශීය මට්ටම ගත්තොත් එදා එකසිය පනහකට අඩුවෙන් තිබූ උප දිසාපති කොට්ඨාශ සංඛ්‍යාව මෙදා තුන්සිය තිස්දෙකක් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බවට පත්ව තිබේ. දල වශයෙන් මේ සියලුම කාර්යාල වල සේවය කළ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව එදා පන්දහසකටත් අඩුවෙන් වූ අතර අද වන විට පනස් දහස ද ඉක්මවා තිබේ.

දිස්ත්‍රික් මට්ටමේ එදා තිබුණේ කච්චේරි විසිපහක් හා තැපැල් මිනින්දෝරු ගොවිජන සේවා කෘෂිකර්ම වැනි කාර්යාල කීපයකි. අද වන විට බොහෝ රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංස්ථා, මණ්ඩල දිස්ත්‍රික් මට්ටමේ කාර්යාල පද්ධතියක් පවත්වා ගෙන යති. එමෙන්ම එදා දිස්ත්‍රික්කයක් මුළුමනින්ම පාලනය කළ කච්චේරිය ද එම වගකීම ප්‍රාදේශීය මට්ටමට පවරා අධීක්ෂණය සඳහා එදාට වැඩි කාර්ය මණ්ඩලයක් නඩත්තු කරමින් සිටිති. එදා නොතිබූ පළාත් මට්ටමක් අද පවත්වා ගෙන යන අතර ජාතික මට්ටමේ ද එදාට වඩා අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල කොමිෂන් සභා ආදී ආයතන පද්ධතියක් පවත්වා ගෙන යයි. එදා දිස්ත්‍රික් මට්ටමෙන් පහළට රජයේ වාහන භාවිතා කළේ උප දිසාපති වරයෙකු පමණි. දිස්ත්‍රික්කයක කච්චේරියේ නිල වාහනයක් වෙන්ව තිබුණේ දිසාපතිවරයාට පමණි. අනිකුත් නිලධාරීන් භාවිතා කළේ සංචිත වාහනය කච්චේරියක පවා වාහන ඇණිය වාහන පහකට වඩා වැඩි නොවිණි. අද වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පමණක් නිල වාහන හිමි නිලධාරීන් හත් දෙනෙකුවත් අවම වශයෙන් සිටී.

සංචිත වාහනත් සමඟ වාහන පහළොවක වත් වාහනම ප්‍රමාණයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක තිබේ. රජයේ අමාත්‍යංශයක ඇමති කර්ය මණ්ඩලයේ නිළ වාහන පමණක් පහකි.අමාත්‍යංශයක ලේකම් අතිරේක ලේකම් වරු ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් වරුන් හා අධ්‍යක්ෂවරු සියල්ලෝම නිල වාහන වෙන් කරනු ලබන නිලධාරීහු වෙති. මේ සියලු වාහන සඳහා රියැදුරෙකු බැගින් සිටිය යුතු බැවින් කාර්ය මණ්ඩල පුළුල් වීම වාහන සංඛ්‍යාවට සාපේක්ෂව වැඩිවෙමින් තිබේ.

මෙසේ ක්‍රමයෙන් පුළුල් වූ රාජ්‍ය සේවාව හකුළුවා අඩු කිරීම පිළිබඳව අදහස් දක්වන බොහෝ ඉහළ නිලධාරීන් සිතන්නේ ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටම රාජ්‍ය සේවාවේ අතිරික්තයක් ඇති බව ය. ජාතික මට්ටම ගැන ඔවුන් වැඩි කතා බහක් නැත. නමුත් යථාර්ථතය වනුයේ ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් ලවා මහජනයාට සැපයිය යුතු සේවාවන් ජාතික සහ පළාත් මට්ටම් වල තබාගෙන සිටීම නිසා මහජනතාවට අපහසුතා ඇතිවී තිබීමත් ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය සේවාවට ප්‍රමාණවත් කාර්ය භාරයක් ඇති බව නොපෙනීමත් සිදුව ඇති බවය. එදා රියැදුරු බලපත් නිකුත් කිරීම සිදුකළේ දිස්ත්‍රික් මට්ටමිනි. ඒ සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් මෝටර් රථ පරීක්ෂක වරයෙකු හා ලිපිකරු නිලධාරීන් දෙදෙනෙකු පමණක් කච්චේරියකට අනුයුක්ත කර තිබුණි.

අද වන විට රියැදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ හා පළාත් කාර්යාල කීපයක පමණි. එදා ගමන් බලපත්‍ර හැඳුනුම්පත් කච්චේරි ප්‍රා. ලේකම් කාර්යාල හරහා ලබා ගත හැකි කමක් තිබුණි. අද වන විට ඒවා එක් දින සේවා හරහා ජාතික හා පළාත් මට්ටම් වලට මධ්‍යගතකර ඇත. මාධ්‍යයේ ඇති බොහෝ රාජ්‍ය ආයතන මධ්‍ය ගතව සේවාව සැපයීමට ක්‍රියා කරනු මිස ප්‍රාදේශීය පරිපාලනය වෙත ඒවා විමධ්‍යගත කිරීමට කැමැත්තක් නොදක්වයි. රටේ ආදායම් එක්රැස් කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැඩි සේ මධ්‍ය ගතකර ඒ යටතේ දිස්ත්‍රික් කාර්යාල පද්ධතියක් පවත්වා ගෙන යයි. මේ කාර්යයන් ප්‍රාදේශීය මට්ටම දක්වා පහසුවෙන් විමධ්‍ය ගත කර සාර්ථකව කළ හැකි දේවල් ය. නවීන පරිගණක පද්ධති හරහා මේ සේවාවන් වල අධීක්ෂණය හා නියාමනය මධ්‍ය මට්ටමේ තබා ගෙන සේවා සැපයුම ප්‍රාදේශීය මට්ටමට විමධ්‍යගත කිරීම පහසු වුවහොත් ඒ සඳහා ඒ ආයතන කරන්නේ ඔවුන් ගේම කාර්යාල පද්ධති බිහි කරමින් කාර්යමණ්ඩල වැඩි කිරීම ය.

ගතවූ වසර තිහක පමණ කාලය තුළ රාජ්‍ය සේවාවේ සේවා සම්පාදනයේ දී ආයතන වල ස්වාධීනත්වය ගොඩනැංවූවා මිස මහජන පහසුව ගැන අවධානයක් යොමු නොවීය. කාර්යක්‍ෂණය සමඟ පුද්ගලයන්ට නිවසේ සිට හෝ ළඟම කාර්යාලයෙන් කර ගත යුතු දේවල් ප්‍රමාණය වැඩිවිය යුතු වුණත් අප රටේ සිදුව ඇත්තේ ක්‍රමයෙන් මධ්‍යගත සේවා සැපයුම ප්‍රවර්ධනය වීම ය. මේවාට වගකිව යුත්තේ හුදෙක් දේශපාලකයින්ම පමණක් නොව ඒ ඒ අමාත්‍යංශ භාර ලේකම් වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ය. අතීතයේදී රටේ ඉඩම් කළමණාකරණය ඊට අදාල නීති වලින් පැවරුණු බලය මත දිස්ත්‍රික් ප්‍රාදේශීය පාලනයෙන් සිදුකෙරිණි.

මධ්‍යගත වූ නියාමනය ඉඩම් කොමසාරිස් දෙපාර්ත මේන්තුවෙන් සිදු විය. වර්ථමානය වන විට පවතින නීතිමය තත්වයන් නොසලකා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව අන්තර් පළාත් කාර්යාල නමින් දිස්ත්‍රික් කාර්යාල පද්ධතියක් පවත්වා ගෙන යමින් ප්‍රාදේශීය පාලනයට නීතියෙන් පැවරී ඇති බලය ක්‍රියාත්මක කිරීම නතර කර ඇත. පළාත් සභාවට ඉඩම් බලයක් නැතත් පළාත් ඉඩම් දෙපාර්තමේන්තු නමයකට කාර්ය මණ්ඩල අනුමත කර බඳවාගෙන වැටුප් ද ගෙවමින් සිටියි. නීත්‍යානුකූල බලයක් නොමැති අන්තර් පළාත් ඉඩම් කාර්යාල පද්ධතිය හා පළාත් ඉඩම් දෙපාර්තමේන්තු පද්ධතියෙන් කරනුයේ නීතියෙන් බලය පැවරුණු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉඩම් පරිපාලනයට අනීතික බාධා පැමිණවීම ය. මේ සියල්ල අදූරදර්ශී ඉහළ නිලධාරීන් ගේ නොසැලකිල්ල මත ඇති වූ විකෘතීන්ය. ඇතැම් රජයේ ආයතන වල ව්‍යවස්ථා ඉහත තනතුරට අතිරේකව කිසිදු සම්බන්ධයක් නැති අනීතික තනතුරු සකස් කර අනුමැතිය දී පවත්වා ගෙනයයි.

ග්‍රාමීය මට්ටමේ වර්තමානයේ සිටින නිලධාරීන් පස් දෙනාගේ කාර්යයන් ඒකාබද්ධ කිරීම පහසු කාර්යයක් නොවේ. එහිදී කළ යුතු වන්නේ දාහතර දහසක් වූ ග්‍රාම නිලධාරී කොට්ඨාශ සංඛ්‍යාව අඩු කිරීමට ක්‍රියා කිරීම ය. මෙහිදී පැරණි ග්‍රාම ඒකක පිළිබඳව මනා අධ්‍යයනයකින් යුතුව ඒවායේ අනන්‍යතාවයන් ද ආරක්ෂා වෙන පරිදි යම් ඒකාබද්ධ කිරීමක් සිදුකිරීම යෝග්‍ය වේ. සාමාන්‍යය උපරිම තුන් දහසක ජනගහණයක් අවම එක්දහස් පන්සීයකට වැඩි ජනගහණයක් වත් ග්‍රාම නිලධාරී කොටසකට අයත් විය යුතුය. මෙසේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් වර්ථමාන පවතින ග්‍රාම නිලධාරීකොට්ඨාශ සංඛ්‍යාව අට දහසකට පමණ අගයකට සංවිධානය කරගත හැකිවේ. දැනට ග්‍රාම නිලධාරී කොටසක සේවය කරන ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී යන අයගෙන් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් නව බඳවා ගැනීම් වලදී එකී විෂයට අදාළ තාක්ෂණික නිලධාරියෙකු බවට පත් කළ යුතු අතර කෘෂිකාර්මික නොවන කොට්ඨාශ වල එම තනතුර කාර්මාන්ත සංවර්ධනය ඉලක්ක කර ගත් තාක්ෂණික තනතුරක් බවට පත් කළ යුතු වේ.

පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමට පත්කර ඔවුන් මහජන සෞඛ්‍ය පිළිබඳව ද ක්‍රියා කළ හැකි නිලධාරීන් සේ සංවර්ධනය කිරීම උචිත වේ. සංවර්ධන නිලධාරි වරයා ආර්ථික මෙන්ම, සමාජ සංවර්ධන කටයුතු භාරව ක්‍රියා කළ යුතු වන අතර ග්‍රාම නිලධාරී වරයා නීතිය බලාත්මක කිරීමේ නිලධාරියෙකු ලෙස සංවර්ධනය කළ යුතු වේ. ප්‍රාදේශීය මට්ටමේ කාර්යභාරයන් ද සමාලෝචනය කර අධීක්ෂණ ක්‍රියාවලිය, ග්‍රාම්‍ය මට්ටමට පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය හා සියලු රාජ්‍ය සේවාවන් මහජනතාවට ලබා දීමේකේන්ද්‍රස්ථාන ලෙස සංවර්ධනය කළ යුතු වේ. මහජන සේවාවන් සියල්ල දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය මට්ටම දක්වා වහා විමධ්‍යගත කිරීම අත්‍යාවශ්‍ය වේ. එහිදී විමධ්‍යගත කිරීමේ මට්ටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විය යුතු අතර ප්‍රා. ලේ. මට්ටමට විමධ්‍යගත කිරීම ප්‍රායෝගික නොවන කාර්යයන් පමණක් දිස්ත්‍රික් මට්ටම දක්වා වත් විමධ්‍ය ගත කළ යුතුය.

මෙසේ මහජන සේවා විමධ්‍ය ගත කිරීමෙන් ජාතික හා පළාත් මට්ටමේ රාජ්‍ය ව්‍යුහයන්ට සාපේක්ෂව ප්‍රතිපත්ති සම්පාදනය හා සැලසුම්කරණය අධීක්ෂණ ආදී කාර්යයන්ට සීමාකර කුඩා කාර්ය මණ්ඩලයක් මගින් පවත්වා ගෙන යන කාර්යාල පද්ධතියක් බවට පත් කළ හැකි වනු ඇත. තාක්ෂණය හරහා කරන මධ්‍යගත කිරීම් වහා නතර කළ යුතු වේ.සෑම රජයේ කාර්යාල කාර්ය මණ්ඩල පිළිබඳව පරීක්ෂා කර ජාතික හෝ පළාත් මට්ටමින් නෛතිකව පැවරුණු කාර්යභාරයන් එකී තනතුරු වලට ඇත් දැයි පරීක්ෂා කර සමාලෝචනයක් සිදුකර අතිරේක කාර්යාල හා නිල තනතුරු හඳුනා ගත යුතු වේ. එමෙන්ම තාක්ෂණයත් සමඟ මිනිස් බලය සීමා විය යුතු වුවත් මෙරට සිදුව ඇත්තේ තාක්ෂණය හඳුන්වා දීමත් සමඟ ක්‍රමයෙන් මිනිස් බලය ද වර්ධනය කර ඇති අන්දමේ කාර්යයන් වේ.

මේ නිසා රාජ්‍ය සේවාවේ අතිරික්තය හඳුනා ගැනීම හා පිළියම් යෙදීමේදී ජාතික පළාත් හා දිස්ත්‍රික් මට්ටම් කුඩා කර ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටම් සේවා සම්පාදනය ශක්තිමත් කිරීම මිස කරන්නන් වාලේ ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටම්වල සේවා සැපයුම් ධාරිතාව සංකෝචනය කර මහජනතාවට ප්‍රශ්න ඇති නොකිරීමට ඉහළ රාජ්‍ය නිලධාරීන් වගබලා ගත යුතුව ඇත.

සුනිල් කන්නගර හිටපු කොළඹ,රත්නපුර සහ අම්පාර මහ දිසාපති

එතෙර - මෙතෙර