මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇතිවූ ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහ කාම්බෝජයට ලබාදෙන කලාපීය ආධාර පැකේජයෙහි වටිනාකම ඩොලර් මිලියන 450කි.
ඩොලර් මිලියන 200ක ප්‍රතිපත්තිමය ණය මුදලක් ශ්‍රී ලංකාවට අනුමතව ඇත්තේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මෙරටට එල්ල වන ආර්ථික බලපෑම අවම කර ගැනීමට සහ දිගුකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටයි.
වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල තරගකාරිත්වය වැඩි දියුණු කිරීම සහ ආර්ථික කලාපවලට ආයෝජන ආකර්ශනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන , වෙළඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන් සඳහා මෙම මූල්‍ය පැකේජවල සහය ලැබේ.
එමගින් ව්‍යාපාර අපනයන පුළුල් කිරීමටත්, කලාපීය සහ ගෝලීය වටිනාකම් දාමයන් සමග සම්බන්ධ වීමටත්, රැකියා නිර්මාණය කිරීමටත්, පෞද්ගලික අංශය මූලික කරගත් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරයි.
වෙළෙඳාම ශක්තිමත් කිරීම සහ අපනයන විවිධාංගීකරණය මගින් අනාගතයේ ඇතිවිය හැකි බාහිර ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු වන බව ආසියානු සංවර්ධන බැංකුවේ විශ්වාසයයි.