ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් ද ඉදිරිපත් කරනු ඇතැම් අවස්ථාවල දී දකින්නට හැකිවිය. නමුත් අප ජාත්‍යන්තර වශයෙන් බැලුවහොත් රියැලිටි වැඩසටහන්වල අන්තර්ගතය මෙයට වඩා බොහෝ පුළුල්ව පැතිර යන බව පෙනෙන්ට තිබේ. රියැලිටි යැයි පෙනුණ ද මේවා පසුපස කතා එයට වඩා හාත්පසින්ම වෙනස්වන අවස්ථාවන් ද නැතිව නොවේ.

රියැලිටිි වැඩසටහන් යනු මොනවාද?

සාමාන්‍යයෙන් ඕනෑම රූපවාහිනී වැඩසටහනක් නිෂ්පාදනය කිරීමේ දී ඒ සෑම එකක්ම ඉදිරිපත් කෙරෙන්නේ නිශ්චිත පිටපතකට අනුව ය. සජීවී වැඩසටහනක් වුව ඒ සඳහා පිටපතක් සකස් කෙරෙන අතර පෙර පුහුණුවීම් ද ඇතැම් අවස්ථාවල දී සිදුකරයි. නමුත් රියැලිටි වැඩසටහන් එසේ නොවේ. මේවාට පිටපතක් නොමැති අතර සැබවින්ම ඒ මොහොතේ සිදුවන සිදුවීම් අන්තර්ගත වේ. මේවායේ පෙනී සිටින්නේ රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන ප්‍රසිද්ධ චරිත නොවේ. කිසිදිනෙක දැක නැති පුද්ගලයන්ය. රියැලිටි වැඩසටහන්වල ඉතිහාසය 1940 – 50 වැනි දශක දක්වා දිව යයි. නමුත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වය වන්නට පටන් ගත්තේ 1990 දශකයේ බව පෙනෙන්නට තිබේ. 1990 දශකය ආරම්භයේ දී රූපවාහිනී තිරයට පැමිණි මේවා 2000 දශකයේ දී ලොව පුරා අතිශය ජනප්‍රිය වන්නට පටන් ගැනුණි. Survivor, Idols සහ Big Brother ආදිය ලෝකයේ මෙසේ ජනප්‍රියත්වයට පත් වූ රියැලිටි වැඩසටහන් අතර කැපී පෙනේ. සඟවන ලද කැමරාවලින් රූපගත කරගන්නා දර්ශන ඇසුරින් නිෂ්පාදනය කෙරෙන රියැලිටි වැඩසටහන් ද දක්නට හැකිය. රූපවාහිනී තිරපිටපත් සකස් කරන්නන් සඳහා ගෙවිය යුතු අධික මිල අවම කරගන්නටත් ලෝකයේ ඇතැම් රූපවාහිනී නාලිකා මෙවැනි වැඩසටහන් සඳහා යොමුවී සිටින බව දක්නට පුළුවන.

සාමාන්‍ය පුද්ගලයන් ඉදිරිපිට ඉදිරිපත් කෙරෙන ආධුනික ගී තරග ද ඇතැම් අවස්ථාවල දී රියැලිටි වැඩසටහන් ලෙස වර්ග කරනු දක්නට ලැබේ. ඒ අනුව බැලුවහොත් අපේ රටේ ද එවැනි වැඩසටහන්වලට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව දක්නට හැකිය.

1988 වර්ෂයේ දී ඇමරිකාවේ රූපවාහිනී තිරපිටපත් ලියන්නන් සති 22 ක අඛණ්ඩ වැඩවර්ජනයකට එලැඹුණු අතර රියැලිටි වැඩසටහන් කෙරෙහි රූපවාහිනී නාලික පෙළඹෙන්නට මෙය ද විශේෂයෙන් බලපෑම් කරන්නට ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ඇමරිකාවේ Fox නාලිකාව Cops නමින් රියැලිටි වැඩසටහනක් ඉදිරිපත් කළේය. මෙහි අන්තර්ගත වූයේ විවිධ ප්‍රාන්තවල පොලිස් ස්ථාන මගින් සිදුකෙරෙන විවිධ අත්අඩංගුවට ගැනීම්වල සජීවී දර්ශනයන්ය. මෙය කෙතරම් ජනප්‍රියත්වයට පත් වූ වැඩසටහනක් ද කිවහොත් එය 2020 වන තෙක් නිෂ්පාදනය විය. එමෙන්ම අධිකරණ කටයුතු ද රියැලිටි වැඩසටහන් ලෙස ඉදිරිපත් කළ අවස්ථා දක්නට ලැබේ. නමුත් එහිදී ඉදිරිපත් කෙරුණේ සැබෑ අවස්ථාව නොවේ. යම්කිසි සුප්‍රකට නඩු තීන්දු නාට්‍යාකාරයෙන් රඟ දක්වා ඉදිරිපත් කළ වැඩසටහන් ද රියැලිටි ලෙස වර්ග කරනු දක්නට ලැබේ. අත්භූත, අදෘශ්‍යමාන බලවේග, හොල්මන්, අවතාර ආදිය සම්බන්ධ වැඩසටහන් ද රියැලිටි ලෙස ඉදිරිපත් කළ වැඩසටහන් ලොව පුරා නිෂ්පාදනය වී තිබේ.

සාමාන්‍යයෙන් අප දකින ගී ගායනා, විවිධ දක්ෂතාවයන් ඉදිරිපත් කෙරෙන වැඩසටහන්වලට අමතරව ලෝකයේ වඩාත් ජනප්‍රිය රියැලිටි වැඩසටහන් වර්ගයක් බවට පත්ව ඇත්තේ ‘දිවි රැකගැනීමේ ප්‍රයත්නයන්’ සහිත වැඩසටහන්ය. ලෝකයේ මෙවැනි ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන්නේ Survivor ය. මෙය මුලින්ම බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ චාර්ලි පාර්සන්ස් විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයක් වුව ද මාර්ක් බර්නට් විසින් එය ඇමරිකාව තුළ ජනප්‍රිය කරවීමෙන් පසුව ලොව පුරාම මෙවැනි වැඩසටහන් ජනප්‍රියත්වයට පත් විය. මේ වැඩසටහන සඳහා නිෂ්පාදන කණ්ඩායමට අමතරව තවත් පිරිසක් සහභාගී වෙයි. ඔවුන්ව පාලු දූපතකට රැගෙන යන අතර කණ්ඩායම් දෙකකට බෙදා දූපතේ අතරමං කරවයි. මෙහි කෑම බීම නැත. ඔවුන් කෙසේ හෝ මේ අභියෝග ජය ගනිමින් ආරම්භ ස්ථානයට පැමිණිය යුතුය. මේ සඳහා කණ්ඩායම් රැසක් ඉදිරිපත් වන අතර අවසානයේ හොඳම ජීවන උපක්‍රම සමගින් ජයග්‍රහණය කරන කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියනයක් තිළිණ වශයෙන් පිරිනමයි.

මේ ආකාරයේ තරග සඳහා ඉදිරිපත්වන කණ්ඩායම්වලට නිෂ්පාදන කණ්ඩායමෙන් ආහාර පාන සැපයීමක් සිදු නොකළ ද ඔවුහු නිරන්තර අධීක්ෂණය මේවා සඳහා යොමුකරයි. ඔවුන් මැදිහත් වන්නේ යම්කිසි හදිසි අවස්ථාවක දී පමණි. මෙවැනි වැඩසටහන් ලෝකය පුරා අතිශය ජනප්‍රිය වූ අතර අප රටේ ද යම් නාලිකාවක් මීට සමාන වැඩසටහනක් ඉදිරිපත් කළ බව මතකයේ ඇති නමුත් එය එතරම් ජනප්‍රිය නොවූ නිසා හෝ වෙන යම් කාරණාවක් නිසා හෝ වර්තමානය වන විට එවැනි වැඩසටහන් දක්නට ලැබෙන්නේ නැත.

රියැලිටි වැඩසටහන් සඳහා සැබවින්ම පිටපතක් නැතිද?

රියැලිටි වැඩසටහන් සඳහා තිරපිටපතක් නොමැති බව පැවසුණ ද වර්තමානයේ අප දකින සෑම වැඩසටහනක්ම සජීවී රූපවාහිනී වැඩසටහනක් හා සමාන පිටපතක් සකස් කරන බව දකින්නට තිබේ. එබැවින් රියැලිටි වැඩසටහන් යනු පිටපතක් නොමැති වැඩසටහන් යැයි පැවසූ මුල්කාලීන නිර්වචනය වර්තමානයට අදාළ වන්නේ නැත. මේවා ඉතා පහසුවෙන් ආදායම් ඉපයිය හැකි වැඩසටහන් වර්ගයක් බැවින් එය වඩාත් චිත්තාකර්ෂණීය කරගැනීම සඳහා පිටපත් සකස් කිරීම සිදුවනු දක්නට ලැබේ.

දැඩි විවේචනයන්ට ලක් වූ රියැලිටි වැඩසටහන් සම්බන්ධව උදාහරණ තිබේ. එවැනි එක් උදාහරණයක් ලෙස Superstar USA හැඳින්විය හැකිය. මෙහිදී තෝරන ලද්දේ නරකම ගායකයා ය. හොඳින් ගී ගායනා කරන ලද පුද්ගලයන් විනිශ්චය මණ්ඩලය අතින් නිර්දය ලෙස විවේචනයට ලක් විය. විනිශ්චය මණ්ඩලය මගින් අගය කරන ලද්දේ ඉතා නරක, අවලස්සන ලෙස ගායනා කරන ලද පුද්ගලයන්ය. අවසානයේ මෙයට දැඩි විවේචන එල්ල විය. මේ ආකාරයේ ‘විකාර රූපී’ රියැලිටි වැඩසටහන් ද ඕනෑ තරම් දක්නට ලැබේ.

ඇතැම් නාලිකා සිය දේශපාලන මතවාදය ජනතාවට කාවැද්දීම සඳහා රියැලිටි වැඩසටහන් යොදා ගන්නා බවට විවේචන ද එල්ල වී තිබේ.

කෙසේ වෙතත් දක්ෂතාවය නිසා ඉදිරියට පැමිණෙන්ට ඉඩකඩ සලසන රියැලිටි වැඩසටහන් ද ඕනෑ තරම් තිබේ. මේවා නිසා කෙටි කාලයක් ඇතුළත ගායක ගායිකාවන්, නළු නිළියන් බිහිවන්නට මේවා මහඟු අවස්ථාවන්ය. නමුත් බොහෝ විට මෙසේ බිහිවන්නවුන්ට ක්ෂේත්‍රය තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීමේ හැකියාවක් නොමැති බවට නිදසුන් විදෙස් රටවලින් සේම අප රටෙන් ද හමුවේ.

රියැලිටි වැඩසටහන්වල කතාව කෙටියෙන් එලෙසය. රියැලිටි වැඩසටහන් සඳහා පෙනී සිටින්නේ අහඹු ලෙස තෝරාගත් ඉදිරිපත් වන්නන් යැයි පැවසුණ ද ඇතැම් රියැලිටි වැඩසටහන් එසේ නොවන අවස්ථාවන් දකින්නට ලැබේ. ඇතැම් ඒවා රියැලිටි ලෙස පෙනෙන ආකාරයට සම්පූර්ණයෙන්ම පිටපතක් සහිතව රංගනයෙහි දක්ෂ පුද්ගලයන් ලවා ඉදිරිපත් කරන අවස්ථාවන් තිබේ. ඇතැම් අවස්ථාවල දී රියැලිටි වැඩසටහන අතරතුර ඉදිරිපත් කරන්නා විශේෂිත ප්‍රශ්න අසනු ලබන අවස්ථා දක්නට ලැබේ. එයට සහභාගී වූ තැනැත්තාට එවැනි ප්‍රශ්නයකට පිළිතුරු ලබාදිය නොහැකි සේ පෙනුණ ද ප්‍රේක්ෂකයන්ට සිතා ගත නොහැකි තරමේ ආකර්ෂණීය ලෙස ඒවාට පිළිතුරු ලබා දෙන අවස්ථා ඕනෑ තරම් දක්නට හැකිය. මේවා සැබවින්ම සැබෑ සිදුවීම් නොවේ. ඒවා කලින් සිටම සැලසුම් කරන ලද ඒවාය. ඇතැම් රියැලිටි වැඩසටහන් නිෂ්පාදනය කරන්නට පෙර හොඳින් කතා කළ හැකි, උගත්කමින් වැඩි, බුද්ධිමත් පිරිස් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ඔවුන් පමණක් සහභාගී කොට නිශ්චිත පිටපතකට අනුව වැඩසටහන් නිෂ්පාදනය කෙරේ. නමුත් සාමාන්‍ය ප්‍රේක්ෂකයා මෙය දකින්නේ මේ පුද්ගලයන් සාමාන්‍ය පටිපාටිය අනුව තෝරා ගන්නා ලද අය බවය. සාමාන්‍ය තෝරාගැනීමේ පටිපාටියක් ප්‍රසිද්ධියේ පැවැත්වුව ද අවසානයේ රියැලිටි වැඩසටහනේ පෙනී සිටින්නේ ඒ අනුව තෝරා ගත් අය නොවේ. මේ අනුව අද අප දකින බොහෝ රියැලිටි වැඩසටහන් ඒවායේ රියැලිටි අර්ථයේ අහලකින්වත් තැබිය නොහැකි පරිදි ‘සැබෑ’ බව ගිලිහී ගොස් තිබේ. වර්තමාන රියැලිටි වැඩසටහන්වල ‘රියැලිටි’ තත්ත්වය හෙවත් යථාර්ථය එයය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්