ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන තැන්

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මැයි රැළිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දී ආරම්භ වීමට නියමිත ය.එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වෙයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය “රොඳ බඳිමු අපි ඉත සිතින් – එක්සත්ව හදවතින්“ තේමාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල‍ කැම්බල් උද්‍යානයේදී පස්වරු 2.00ට පැවැත්වේ.සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන මැයි රැලි දෙකක් කොළඹ චැතැම් වීදියේ සහ වතුකරයේ පැවැත්වේ. සමඟි ජන බලවේගයේ මැයි දින පෙළපාළිය කොළඹ සෝන්ඩර්ස් පෙදෙසේ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩා පිටියෙන් පස්වරු 2.00ට ආරම්භ වේ.ප්‍රධාන මැයි දින රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් චැතැම් වීදියේදී පැවැත්වේ.ජාතික ජන බලවේගය විසින් මැයි රැලි හතරක්ම පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර නගරවලදීය. “රට හදන විසඳුමට ජනබලය එක පෙළට“ මැයෙන් එම මැයි දින රැළි සංවිධාන කර ඇත.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි පෙළපාළිය කොළඹ මාලිගාකන්දේ වයිට් ක්‍රීඩා පිටියෙන් ආරම්භ වී ආනන්ද මාවත ඔස්සේ මරදාන ටී.බී. ජයා මාවතේ පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණයේදී මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු ඒකාබද්ධ වාමාංශික මැයි රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.ලංකා සමසමාජ පක්ෂයේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පස්වරු 2.00ට පැවැත්වේ.

කාලීන පුවත්