ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිං ගේ ජීවිත කතාව සිනමාවට: අධ්‍යක්‍ෂණය ආමීර් ඛාන්

පහුගිය දවස්වල ක්‍රිකට් ගැන කාගේත් විශාල අවධානයක් යොමු වෙලා තිබුණා. ඒ ලෝක කුසලාන තරගාවලිය නිසා යි. ඒ අතරේ ක්‍රිකට්වලට සම්බන්ධ සිනමාපටයක් ගැන ආරංචියකුත් ඉන්දියාවෙන් අසන්නට ලැබුණා. මාධ්‍ය හරහා වාර්තා වූ මෙම ආරංචිය සිනමා ලෝලීන් තුළ මෙන්ම ක්‍රිකට් ලෝලීන් තුළ ද විශාල කුතුහලයක්, උනන්දුවක් ඇති කරන්නට සමත්ව තිබූ බව පෙනුණා.

මෙම ආරංචියෙන් කියැවුණේ ඉන්දියානු ක්‍රිකට් පිලේ සිටි අති දක්‍ෂ ක්‍රිඩකයකු වූ යුව්රාජ් සිං ගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වන්නට යන බවයි. එය නිර්මාණය කිරීමට යන්නේ සුපිරි නළු ආමීර් ඛාන් බවක් ද ඉහත කී මාධ්‍ය වාර්තාවලින් පැවසුණා. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා වන හිමිකම් (Rights) ආමීර් මේ වනවිටත් මිල දී ගෙන අවසන් බවත් එම වාර්තාවල තවදුරටත් සඳහන් වෙනවා.

මෙයට වසර කිහිපයකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් යුව්රාජ් ගේ ජීවිතය බොහෝ නාටකීය සිදුවීම්වලින් ගහණ වූවක් බව රහසක් නොවෙයි. සුවිසල් ජයග්‍රහණ මෙන්ම බොහෝ හැල හැප්පීම් සහ දුක් කම්කටොළු ද ඔහුගේ ජීවිත කතාව තුළ සටහන් ව තිබෙනවා. ආමීර් මෙම කතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට තීරණය කළේ ඒ නිසා විය යුතුයි. මෙම කතාව හරහා ඉතා ප්‍රබල පණිවුඩයක් ලබා දීමට හැකි බව ආමීර්ට වැටහෙන්නට ඇති. ඇත්තෙන්ම යුව්රාජ් ගේ කතාව අභියෝග සහ ගැටලු දරා ගනිමින් ජීවිතය ජය ගන්නා ආකාරය පිලිබඳ අපූරු නිදර්ශණයක් සේ සැලකිය හැකියි.

යුව්රාජ් සිය ක්‍රිකට් දිවියේ උපරිම තලයේ සිටිය දී ඔහු පිළිකා රෝගයට ගොදුරු වුණා. ඒ වනවිට ඔහු පසු වූයේ 30 වැනි වියේ යි. පළමු වරට ඔහුට රෝග ලක්‍ෂණ පහළ වෙන්නට පටන් ගත්තේ 2011 වසරේ ලෝක කුසලාන තරගාවලිය පැවැති කාලයේ යි. යුව්රාජ්ට වැළඳුණේ පෙනහළු පිළිකාවක්. ඔහුගේ වම් පැත්තේ පෙනහල්ලේයි එය හටගෙන තිබුණේ.

2011 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරද්දී මේ පිලිබඳ රෝග ලක්‍ෂණ මතු වී තිබුණත් තමාට වැළඳී ඇත්තේ පිළිකාවක් බවක් යුව්රාජ් නිශ්චිතව දැනගෙන සිටියේ නැහැ. මේ කාලයේ ඇතැම් දිනවල මහ රාත්‍රියේ හුස්ම ගැනීමට අපහසු වී නින්දෙන් ඇහැරුණු සැටිත්, දරුණු කැස්සකින් පීඩා විඳි සැටිත්, සමහර අවස්ථාවල ලේ වමනය කළ සැටිත් යුව්රාජ් විස්තර කර තිබුණා. කෙසේ හෝ වේවා, මේ සියලු ශාරීරික වේදනා දරාගෙනයි ඔහු ලෝක කුසලාන තරගවලට ක්‍රීඩා කළේ. ක්‍රීඩා ප්ිටිය තුළ දී පවා සමහර අවස්ථාවල ඔහු වමනය කළ සැටි ගැන එකල ඔහු සමග ක්‍රිකට් කණ්ඩායමේ සිටි හර්බජන් සිං වරක් සඳහන් කර තිබුණා.

මෙම ලෝක කුසලාන තරගාවලිය යුව්රාජ් සුවිශේෂී දස්කම් දැක් වූ තරගාවලියක්. ශතකයක් සහ අර්ධ ශතක හතරක් රැස් කිරීමට ඔහු සමත් වූ අතර කඩුළු 15 ක් ද දවා ගත්තා. ඒ විතරක් නොව තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේත් ඔහු යි. ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය ද දිනාගත් අතර එහි දී යුව්රාජ්ගේ දායකත්වය කැපී පෙනුණා. ඔහු මේ සියලු දස්කම් දැක් වූයේ පිළිකාවක් සිරුර තුළ තියාගෙනයි.

තරගාවලිය අවසන් වීමෙන් පසු ඔහු වෛද්‍ය පරීක්‍ෂණයකට පෙනී සිටියා. තමාගේ පෙනහල්ලේ පිළිකාවක් වැඩෙමින් ඇති බව යුව්රාජ් ස්ථිර වශයෙන් දැනගත්තේ එහිදී යි. රෝගය ගැන දැනගත් විට තමා තුළ ඇති වූ බිය සහ කම්පනය ගැනත් වරක් යුව්රාජ් පවසා තිබුණා.

‘පිළිකාවක් බව පළමු වරට දැනගන්න මොහොතේ ඔබ සැබැවින්ම බියට, කම්පනයට පත් වෙනවා. ඒක හරියට මරණ සහතිකයක් වගේ. ඔබේ ජීවිතය කොයි අතට යාවිද කියන එක ගැන ඔබ තුළ විශාල අපැහැදිලි බවක්, අවිනිශ්චිත බවක් ඇති වෙනවා’ ඔහු එලෙස සඳහන් කර තිබුණා.

රෝගය ගැන දැන ගැනීමෙන් පසු කලක් ඔහු ඇමරිකාවේ ඉන්ඩියානාපෝලිස් ප්‍රාන්තයේ රැඳී සිටිමින් පිළිකාව සඳහා ප්‍රතිකාර ලබා ගත්තා. කෙසේ හෝ වේවා, 2012 වසරේ ඔහුට පිළිකාව පරාජය කරමින් නැවතත් සුවය ලබන්නට වාසනාව හිමි වුණා. ඒ විතරක් නොවෙයි යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී සුපුරුදු දස්කම් දක්වන්නටත් ඔහුට හැකි වුණා.

පිළිකාව සමග තමා කළ සටන පිලිබඳව යුව්රාජ් පොතකුත් ලිව්වා. එහි නම The Test of My Life: From Cricket to Cancer and Back . 2013 වසරේයි එය ප්‍රකාශයට පත් වුණේ.

ආමීර් යුව්රාජ් ගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කළහොත් මේ සියලු නාටකීය සිදුවීම් එහි ඇතුළත් වේවි. මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කිරීමට යන්නේත් ආමීර් ම බවයි මාධ්‍ය සඳහන් කර තිබුණේ. ඔහු මෙයට පෙරත් සිනමාපටයක් අධ්‍යක්‍ෂණය කර තිබෙනවා. ඒ ‘තාරේ සමීන් පාර්’ චිත්‍රපටය යි. කුඩා දරුවකු සහ දයාබර ගුරුවරයකු ගැන කියන මේ හැඟීම්බර සිනමාපටය ප්‍රේක්‍ෂකයන් මහත් ආදරයෙන් වැළඳගත් සිනමා නිර්මාණයක්.

නිහාල් පීරිස්

රසගඟුල