කාලගුණික විපත් පිටු දකින්න මේ උපදෙස් පිළිපදින්න


ශ්‍රී ලංකාවට බලපා ඇති සක්‍රීය අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නොවැම්බර් 12 වැනිදා නිකුත් කළ විශේෂ දැනුම්දීමකින් පෙන්වා දී ඇත්තේ රටට බලපා ඇති දෙවන අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය මේ වන විට වඩාත් සක්‍රීය වී ඇති බවයි. මේ හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට ලැබීමේ ප්‍රවණතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ද සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි බෙංගාල බොක්කේ තවත් වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බවද වාර්තා වේ. මෙම පද්ධතිය නොවැම්බර් 13 වැනිදා පමණ අඩු පීඩන කලාපයක් බවටත්, ඉන් අනතුරුව තවදුරටත් ශක්තිමත් වී නොවැම්බර් 15 වැනිදා පමණ අවපාතයක් (Depression) බවටත් පත්වීමේ හැකියාවක් පවතින බව කාලගුණ අනාවැකි පෙන්වා දෙයි.

දැනට පවතින දත්ත අනුව මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට සමාන්තරව උතුරු දෙසට ගමන් කරමින් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කිරීමේ වැඩි ඉඩකඩක් පවතී. එබැවින් එය ඍජුවම ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ හැකියාව සාපේක්ෂව අඩු වුවද, එහි බලපෑම හේතුවෙන් මෙරට වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර පළාත්වලට නොවැම්බර් 14 සහ 15 දිනවල වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතී.

එනම්, බෙංගාල බොක්කේ වර්ධනය වන මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවට පත්වීම අනිවාර්ය නොවුණත්, එහි ගමන් මාර්ගය සහ තීව්‍රතාව පිළිබඳව ඉදිරි දිනවලදී අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යය.

මෙවැනි තත්ත්වයක් හමුවේ අපට මතුවන වැදගත්ම ප්‍රශ්නය වන්නේ අයහපත් කාලගුණය පිළිබඳ ප්‍රවෘත්ති දැනගැනීම පමණක් නොව, එයින් අපේ ජීවිත ආරක්ෂා කරගන්නේ කෙසේද යන්නයි.

අධික වර්ෂාවක් පවතින විට නිවසේ සිටිය යුත්තේ කෙසේද? ගමන් බිමන් යාම ආරක්ෂිතද? හදිසියේ ගංවතුරක් හෝ නායයෑමක් ඇති වුවහොත් අප ක්‍රියා කළ යුත්තේ කෙසේද?

මේ කරුණු පිළිබඳව නිසි අවබෝධයක් තිබීම ආපදාවකදී ජීවිතයක් බේරාගැනීමට පවා උපකාරී විය හැකිය.

අයහපත් කාලගුණයක් පවතින විට හැකි සෑම අවස්ථාවකදීම නිවස තුළ ආරක්ෂිතව රැඳී සිටීම සුදුසුය. විශේෂයෙන්ම තද සුළං සහ අකුණු සහිත වැසි පවතින අවස්ථාවලදී අනවශ්‍ය ලෙස නිවසින් බැහැරට යාමෙන් වැළකිය යුතුය.

නිවස අවට ඇති විශාල ගස්, දිරාගිය අතු, අස්ථාවර තාප්ප සහ විදුලි රැහැන් පිළිබඳව අවධානය යොමු කරන්න. තද සුළං හමන විට ගස් අතු කඩා වැටීමෙන් හෝ ගස් මුලින් ඉදිරී වැටීමෙන් බරපතළ අනතුරු සිදුවිය හැකිය.

අකුණු සහිත වැසි පවතින විට රැහැන් සහිත විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින්න. විදුලි උපකරණ පේනුවලින් ඉවත් කිරීම අවශ්‍ය නම් එය ගිගුරුම් සහිත තත්ත්වය ආරම්භ වීමට පෙර ආරක්ෂිතව සිදු කරන්න. අකුණු පවතින අවස්ථාවලදී විදුලි සම්බන්ධතා, ජල නළ සහ ලෝහමය කොටස් ස්පර්ශ කිරීමෙන් වළකින්න.

නිවසට ජලය ඇතුළු වීමේ අවදානමක් තිබේ නම් වැදගත් ලිපි ලේඛන, ඖෂධ සහ විදුලි උපකරණ ආරක්ෂිත උස් ස්ථානයක තබන්න.

අයහපත් කාලගුණයක් පවතින විට නිවසේ රැඳී සිටීම ආරක්ෂිතම තීරණය ලෙස සැලකුවත්, එය සෑම අවස්ථාවකටම අදාළ වන්නේ නැත. ඔබේ නිවස පිහිටා ඇත්තේ නායයෑම් අවදානම් කලාපයක නම්, ගංවතුරට යටවිය හැකි පහත් බිමක නම් හෝ විශාල ගස් හා අස්ථාවර ගල් පර්වත ආසන්නයේ නම් නිවස තුළ රැඳී සිටීමම ජීවිත අවදානමක් විය හැකිය. පොළොවේ පැලුම්, බිත්ති ඉරිතැලීම්, ගස් ඇලවීම් හෝ අසාමාන්‍ය ලෙස ජලය මතුවීම වැනි අනතුරු ඇඟවීමේ ලක්ෂණ නොසලකා හැරිය යුතු නැත. බලධාරීන් ඉවත් වන ලෙස දැනුම් දුන් විට හෝ අනතුරක් ආසන්න බව පැහැදිලිව පෙනෙන විට, අවසන් මොහොත වනතුරු බලා නොසිට ආරක්ෂිත ස්ථානයකට යාම සුදුසුය.

අයහපත් කාලගුණයක් පවතින අවස්ථාවලදී බොහෝ දෙනකු නොසලකා හරින කරුණක් වන්නේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටීමයි.

විනෝද චාරිකා, උත්සව, සාද සහ වෙනත් එළිමහන් කටයුතු සඳහා යාමට පෙර කාලගුණ තත්ත්වය පිළිබඳව සොයා බලන්න. අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අවස්ථාවක එවැනි ගමන් කල් දැමීම වඩාත් සුදුසුය.

විශේෂයෙන්ම දිය ඇලි, ගංගා, ජලාශ, කඳුකර ප්‍රදේශ සහ වෙරළබඩ ස්ථාන ආශ්‍රිත විනෝද චාරිකා යාමෙන් වැළකිය යුතුය.

ගමනක් අත්‍යවශ්‍ය නම් පිටත්වීමට පෙර ගමන් කරන මාර්ගයේ තත්ත්වය පිළිබඳව සොයා බලන්න. ගංවතුරට යටවූ මාර්ග හරහා වාහන ධාවනය කිරීමෙන් වළකින්න. ජලයේ ගැඹුර සහ ජලයෙන් යට වී ඇති මාර්ගයේ තත්ත්වය නිවැරදිව හඳුනාගත නොහැකි බැවින් ජලයෙන් යටවූ මාර්ගයකට වාහනය ඇතුළු කිරීම ඉතා අනතුරුදායකය.

යතුරුපැදිකරුවන් ද විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. මාර්ගවල ජලය රැඳීම, ගස් අතු කඩා වැටීම, විදුලි රැහැන් කඩා වැටීම සහ මාර්ග ලිස්සනසුලු වීම නිසා අනතුරු සිදුවිය හැකිය.

අයහපත් කාලගුණය සමඟ ඇතිවිය හැකි භයානක තත්ත්වයක් වන්නේ ක්ෂණික ගංවතුරයි (Flash Floods).

මෙහි විශේෂත්වය වන්නේ ඉතා කෙටි කාලයක් තුළ ජල මට්ටම වේගයෙන් ඉහළ යාමයි. ඇතැම්විට ඔබ සිටින ස්ථානයට විශාල වර්ෂාවක් නොලැබුණත් ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහළ ප්‍රදේශවල ගංගා, ඇළ දොළ සහ පහත් බිම් හදිසියේ ජලයෙන් යටවිය හැකිය.

ගංගා සහ ඇළ දොළ ආශ්‍රිතව සිටින විට ජල මට්ටම හදිසියේ ඉහළ යාම, ජලයේ වර්ණය වෙනස් වීම සහ වේගයෙන් ජලය ගලා ඒම වැනි ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරන්න.

මෙවැනි ලක්ෂණ දුටුවහොත් ඡායාරූප ගැනීමට හෝ වීඩියෝ කිරීමට රැඳී නොසිට වහාම උස් සහ ආරක්ෂිත ස්ථානයකට යන්න. ගංවතුරට යටවූ මාර්ග හරහා පයින් හෝ වාහනවලින් ගමන් කිරීමට උත්සාහ නොකරන්න.

කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව අධික වර්ෂාව පවතින විට විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය.

පස ඉරිතැලීම, ගස් හෝ විදුලි කණු ඇලවීම, බෑවුම්වලින් ජලය අලුතින් ගලා ඒම, බිත්තිවල ඉරිතැලීම් ඇතිවීම සහ පොළොවේ අසාමාන්‍ය වෙනස්කම් ඇතිවීම නායයෑමක පෙරනිමිති විය හැකිය.

එසේම කඳුකර මාර්ගවල ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම් ද සිදුවිය හැකිය. මාර්ගයක් අසල නවතා තිබූ යතුරුපැදියක් මතට විශාල ගලක් පෙරළී වැටී එය සම්පූර්ණයෙන්ම විනාශ වූ සිදුවීම් පවා අපට අසන්නට ලැබේ.

එබැවින් අධික වර්ෂාව පවතින විට කඳු බෑවුම් අසල, ගල් කඳු පාමුල සහ නායයෑම් අවදානම් සහිත මාර්ග අසල වාහන නතර කිරීමෙන් හෝ අනවශ්‍ය ලෙස රැඳී සිටීමෙන් වළකින්න.

නායයෑම් අවදානම් පිළිබඳ නිල අනතුරු ඇඟවීමක් නිකුත් කළහොත් එය නොසලකා නොහැර බලධාරීන්ගේ උපදෙස් අනුව ආරක්ෂිත ස්ථානයකට යන්න.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට විදුලි කෙටීම් සමඟ තාවකාලිකව ඉතා තද සුළං ඇතිවිය හැකිය. මෙවැනි අවස්ථාවලදී එළිමහනේ සිටීම, ගස් යට රැඳී සිටීම සහ විවෘත භූමිවල සිටීම අනතුරුදායකය.

අකුණු ගසන විට වහාම ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ වසා ඇති වාහනයක් තුළට යන්න. ගස් යට හෝ විවෘත ස්ථානවල රැඳී නොසිටින්න. අවසන් ගිගුරුම් හඬ ඇසීමෙන් පසුවත් අවම වශයෙන් විනාඩි 30ක් ආරක්ෂිත ස්ථානයේ රැඳී සිටීම සුදුසුය.

ආපදාවක් ඇති වූ පසුව කලබලයෙන් කටයුතු කරනවාට වඩා ඊට පෙර සූදානම් වීම ඉතා වැදගත්ය.

පවුලේ සියලු සාමාජිකයන්ට හදිසි අවස්ථාවකදී සම්බන්ධ විය හැකි දුරකථන අංක, ආරක්ෂිත ස්ථාන සහ ඉවත් වීමේ මාර්ග පිළිබඳව දැනුම් දී තබන්න.

අත්‍යවශ්‍ය ඖෂධ, පානීය ජලය, වියළි ආහාර, විදුලි පන්දම, අමතර බැටරි, ජංගම දුරකථන චාජරයක් සහ වැදගත් ලිපි ලේඛන සහිත හදිසි ආපදා බෑගයක් සූදානම් කර තබාගැනීම ප්‍රයෝජනවත්ය.

කාලගුණ අනතුරු ඇඟවීම් සහ ආපදා නිවේදන පිළිබඳව නිල මූලාශ්‍රවලින් තොරතුරු ලබාගන්න. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සෑම තොරතුරක්ම සත්‍ය යැයි විශ්වාස නොකරන්න.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන්න. හදිසි ආපදා තත්ත්වයකදී 117 දුරකථන අංකය අමතා සහාය ලබාගත හැකිය.

ස්වාභාවික ආපදා සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අපට නොහැකි වුවත් ඒවායින් සිදුවන හානි අවම කරගැනීමට අපට හැකියාව තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිසි දැනුවත්භාවය, අවදානම හඳුනාගැනීම සහ නිවැරදි වේලාවේ නිවැරදි තීරණ ගැනීමයි.

අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත් අනවශ්‍ය ගමන් බිමන් යාම, ගංවතුරට යටවූ මාර්ග හරහා ගමන් කිරීම හෝ නායයෑම් අවදානම් සහිත ස්ථානවල රැඳී සිටීම වීරකමක් නොවේ. එය තමන්ගේ මෙන්ම අන් අයගේ ජීවිත ද අවදානමට ලක් කිරීමකි.

මතක තබාගන්න. දේපළ නැවත ගොඩනගාගත හැකිය. අහිමි වූ වාහනයක් නැවත මිලදී ගත හැකිය. එහෙත් අහිමි වූ මිනිස් ජීවිතයක් නැවත ලබාගත නොහැකිය.

එබැවින් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අනවශ්‍ය අවදානම් ගැනීමෙන් වැළකී, නිල අනතුරු ඇඟවීම් පිළිපදිමින්, තමන්ගේත් තම පවුලේත් ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමු.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර