ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා ඇලීම්, බැඳීම් බෙහෙවින් උග්‍ර මට්ටමක පැවතීමය. නොඑසේ නම් අතීතයට සාපේක්ෂව මිනිසා තුළ පවත්නා ලෞකික අරමුණු සහ අපේක්ෂාවන් අසීමාන්තික ලෙස ඉහළ නැංවීම මුල් කොට ඒ සම්බන්ධයෙන් එල්ල වන බාධාවන් කෙරෙහි මිනිසා දැඩි අවධානයකින් පසු වීම ය.
ඒ සම්බන්ධයෙන් බලපාන දෙවැනි කරුණ ලෙස අප දකිනුයේ පසුගිය කාලයේ ජනකාන්ත ජ්‍යොතිර්වේදීන් වශයෙන් සමාජයේ ඉස්මතු වූ කිහිප දෙනා ජ්‍යොතිර්වේදය පිළිබඳ සිද්ධාන්තමය තත්ත්වයන් පිළිබඳ කිසිත් නොදැන ජ්‍යොතිෂය පිළිබඳ අනේක විධ දුර්මතවලින් සමාජය නොමග යැවීමය. නිදසුනක් ලෙස පසුගිය සමයේ ගෝලීය වසංගතයක් බවට පත් කොරෝනාව මාරාන්තික විය හැකි බවට අනතුරු හඟවනු වෙනුවට කොවිඩ් මාරාන්තික බැවින් එය වැළදුණු රෝගීන් මිය යන බවට මිථ්‍යා අදහස් පැතිරවීම වැනි නොකටයුතු දේ ජ්‍යොතිර්වේදය සම්බන්ධයෙන් ද පසුගිය කාලය පුරා සිදු කිරීම ය. එනිසා ජනතාවට අතිශයින් සහනශීලී හිතදායක උපදේශනාත්මක විෂය පථයක් වන ජ්‍යොතිර්වේදය මිනිසුන්ගේ ලොමු දැහැගන්වන බියකරු විෂයයක්ය යන පරම මිථ්‍යාව සමාජයේ පැතිර යමින් තිබේ.

ග්‍රහ අපල යනු ජ්‍යොතිර්වේදයේ නිරතුරුව දැක්විය හැකි තත්ත්වයකි. ලොව පවතින නියාමයන් අනුව මිනිසුන් හට මුහුණ පෑමට සිදුවන අටලෝ දහම ග්‍රහ අපල වලින් දර්ශනය වන බව අතීතයේ සාමාන්‍ය ජනතාව අතර පැවැති ප්‍රසිද්ධ මතයකි. ඒ අනුව අතීත ජනයා එම ග්‍රහ අපල කෙරෙහි ද යම් මැදහත් සහනශීලී බවකින් බැලීමට පුරුදු පුහුණු වූ බව රහසක් නොවේ.
පුද්ගල වශයෙන් මිනිසා වෙත එල්ල වන ග්‍රහ අපල ඊට අදාල ග්‍රහචාරය අනුව සෑම අයකුට එක ලෙසින් එක සේ බලපාන බව පොදු ජනතාව අතර තිබෙන බරපතල වැරදි විශ්වාසයකි. එහෙත්, එය එසේ නොවන බව වටහා දෙන හා එසේ වටහා දීමට තරම් දැනුමක් අවබෝධයක් ඇති ජ්‍යොතිර්වේදීන් අප සමාජයේ වෙත් නම් ඒ ඉතා සුළු පිරිසක් බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය.

අප මෙහිදී කලින් සඳහන් කළ කොවිඩ් උපමාවම යළි ගතහොත් කොරෝනා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් පිළිබඳව සිතමු. එසේ එම වෛරසය ශරීරගත වූ ඇතැමකු තුළ ඒ සම්බන්ධ කිසිදු රෝග ලක්ෂණයක් පළ නොවීම මත එහි බලය ශූන්‍ය විය. තවත් පිරිසක් කෙරෙන් සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් වැනි සුළු රෝග ලක්ෂණ මතු විය. එලෙස කොරෝනා වෛරසය ශරීරගත වූ තවත් පිරිසකට රෝහල්ගත වීමට සිදු වූ අතර තවත් පිරිසකට දැඩි සත්කාර ඒකකවල පවා ප්‍රතිකාර ලබන්නට සිදු විය. මේ අතර මෙම කොරෝනා වෛරසය ශරීරගත වූවන්ගෙන් සුළු පිරිසක් පමණක් මේ සියලු තත්ත්වයන් ඉක්මවා ගොස් අකල් මරණවලට ලක් වූහ. නමුත් මේ විවිධාකාර තත්වයන්ට බලපාන ලද්දේ එකම වෛරසයකි. නමුත් එක් එක් පුද්ගලයාගේ ශරීර ප්‍රතිශක්තිය අනුව ප්‍රතිඵලය විවිධ විෂම විය.
ඉහත සඳහන් කළ සරල උපමාව ග්‍රහ අපල සම්බන්ධයෙන්ම එලෙසින්ම බලපාන බව ඔබ දන්නවාද? ඔබගේ ජන්ම පත්‍රයේ පවත්නා ග්‍රහමය තත්වයන් මත ඔබට අත්විය හැකි බව පැවසෙන ප්‍රතිඵලය ද විවිධ හේතු සාධක මත විෂම හා විවිධාකාර විය හැකි බව ජ්‍යොතිර්වේදයේ මූලික සෛද්ධාන්තික ඉගැන්වීමකි. නිදසුනක් ලෙස යමකුගේ ජන්ම පත්‍රය පෙන්නුම් කරන ‘මාරක’ නමින් හැඳින්වෙන තත්වය මත අයකුට මරණය උදා කළ හැකි අතර තවත් අයකුට විවිධ රෝගාබාධ, ධන හානි, රැකියා ආදායම් අහිමිවීම, පවුල් විවාහ සබඳතා බිඳ වැටීම, අධ්‍යාපනය අඩාල වීම ආදී විවිධ අයුරින් බලපෑ හැකිය. නමුත් එහි විශේෂයෙන්ම කිව යුත්තේ එම මාරක යෝග එළැඹි අවස්ථාවන්හි දී සිරුරේ රෝම කූපයකටවත් නොදැනුණු පුද්ගලයන් කොතෙකුත් අප සමාජයේ හිඳීම ය.

මේ සම්බන්ධයෙන් බොහෝ ජ්‍යොතිර්වේදීන්ට ප්‍රායෝගිකව කරුණු අධ්‍යයනය කිරීමේ අවස්ථාවන් ද කොතෙකුත් උදා වේ. ඒ බොහෝ විට වියපත් පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂාවන්හි දී ඒවායේ කල් ඉකුත් වී ගිය මාරකයන් සහිත ග්‍රහයෝග ද වරින් වර හමු වීමෙනි. නමුදු සමහරකු ඒ බව හාංකවිසියක්වත් දැන නොසිටි බව ඔවුන් හා කරන කතාබහේ දී ජ්‍යොතිර්වේදියාට වටහා ගත හැක. එහි දී අසවල් කාලසීමාව ඔබට ගත වුණේ කෙසේද? යන්න ජ්‍යොතිර්වේදීන් නගන ප්‍රශ්නවලට ඇතැමෙකු සුළු සුළු කරදර තිබුණා. “ඒ කාලේ නම් බොහොම හොඳට ගත වුණා” ආදී විවිධාකාර අයුරින් පිළිතුරු දෙන අවස්ථා තිබේ.
මාරක ඇතුළු විවිධ ග්‍රහ අපල මෙසේ පුද්ගලයන් එකි`නෙකා කෙරෙහි වෙනස් අයුරින් බලපෑමට හේතු මොනවාද? ඉන් ප්‍රධානතම හේතුව වනුයේ ඔවුන් තුළ පවත්නා සාංසාරික කුසල් හා පුණ්‍ය ශක්ති මහිමයයි. දෙවනුව ඔවුන් තුළ පවත්නා දැඩි චිත්ත සහ අධිෂ්ඨාන ශක්තියයි.
ග්‍රහ බලපෑම් යනු පුද්ගලයකුගේ ජීවිත හසුරුවන පරම ශක්තිය බලවේගය නොවේ. එසේ පවසන්නෝ එක්කෝ ජ්‍යොතිෂය සම්බන්ධ හයක් හතරක් නොදත් නූගත්තුය. නැතහොත් ජ්‍යොතිෂය ජාවාරමක් කරගත් කපටි කයිරාටිකයින්ය.
ඉපැරණි ජ්‍යොතිෂමය සිද්ධාන්තවලට අනුව නවග්‍රහ ක්‍රියාකාරීත්වය නම් වන විශ්වීය ශක්තිය යම් පුද්ගලයකු කෙරෙහි අහිත සහ අවැඩ පිණිස බලාත්මක වනුයේ ඒ පුද්ගලයාගේ මානසික ශක්තිය ප්‍රබල වන ආකාරයට සාපේක්ෂවය. සුවිසල් කුසල් ශක්තියක් පුණ්‍ය බලයක් සේම සුවිශේෂ චිත්ත සහ ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තවුන් කෙරෙහි එම නවග්‍රහ ක්‍රියාකාරීත්වය ප්‍රබල ලෙස බල නොපාන අතර ඇතැම් විට එය ශූන්‍ය වී යයි. එය හරියට වෙඩි නොවදින කබායක් හැඳ සිටින තැනැත්තා වෙඩි පහරකට ලක් නොවන්නාක් මෙනි.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට