යුරෝපයේ සරම්ප ව්‍යාප්තිය 45 ගුණයකින් වැඩි වෙලා; ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

මේ වනවිට ලංකාවේ ද සරම්ප රෝග ව්‍යාප්තියෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව පසුගිය දිනවල සෞඛ්‍ය අංශ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොව මේ වෙද්දී ලොව බොහෝ රටවල දක්නට ලැබෙන තත්ත්වයක් වී තිබේ. විශේෂයෙන් යුරෝපා කලාපය තුළ සරම්ප රෝගය වේගයෙන් පැතිර යමින් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. සරම්ප මුළුමනින් තුරන් කර තිබූ රටවල් රැසකින් පවා දැන් නැවතත් රෝගීන් වාර්තා වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණේ 2023 වසර තුළ යුරෝපයේ සරම්ප රෝගීන් වාර්තා වීම 45 ගුණයකින් වැඩි වී ඇති බවකි. එම සංවිධානය යුරෝපා කලාපය ලෙස හඳුනාගන්නා කලාපයට අයත් සාමාජික රටවල් 53 න් 40 කම සරම්ප ව්‍යාප්තියක් දැකිය හැකි බව ද සඳහන් ය. මෙය සරළව ගත හැකි කාරණයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට 2023 වසර තුළ යුරෝපයෙන් වාර්තා වූ සරම්ප රෝගීන් ගණන 42,000 කට ආසන්න ය. 2022 වසරේ වාර්තා වී තිබුණේ රෝගීන් 941 දෙනෙකු පමණි. ඉහත කී රෝගීන් 42,000 අතරින් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගත කිරීමට සිදුව ඇති බව ද වාර්තා වේ. රටවල් දෙකක රෝගීන් පස් දෙනෙකු මරණයට පත්ව තිබිණි.

මෙම තත්ත්වය මර්ධනය කිරීමට වහා පියවර නොගතහොත් වඩාත් භයානක ප්‍රතිවිපාක ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

සරම්ප වැඩි වශයෙන් වැළඳෙන්නේ කුඩා දරුවන්ට වුව ද එය ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට වැළඳිය හැකි රෝගයකි. මෙය කිසිසේත් සුළුවෙන් තැකිය හැකි රෝගයක් නොවන අතර ඇතැමුන් තුළ බරපතල සංකූලතා ඇති විය හැකිය. සාමාන්‍යයෙන් ඇති වන රෝග ලක්‍ෂණ වන්නේ තද උණ සහ සම මත ඇති වන දද වැනි තත්ත්වය යි. නමුත් සංකූලතා ඇති වුවහොත් නිව්මෝනියාව, මොළයේ උණ, කම්පන තත්ත්වයන්, අන්ධභාවය පවා ඇති විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. මරණයට පවා පත්වීමේ අවදානමක් තිබේ.

සරම්ප රෝගය හදිසියේ නැවත මේ ආකාරයෙන් හිස ඔසවමින් ඇත්තේ එවැනි රෝග සඳහා ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහන් පසුගිය කොවිඩ් කාලය තුළ අඩාල වීම හේතුවෙන් විය හැකි බව සඳහන් වේ. මෙම රෝගය සඳහා ලබා දෙන එම්එම්ආර් (MMR- Measles, Mumps and Rubella) නැමැති එන්නත සම්බන්ධයෙන් පැතිරුණු ඇතැම් වැරදි මත නිසා ද ඇතැමුන් මෙම එන්නත නොගෙන සිටි ආකාරයක් දැකිය හැකි විය. කෙසේ හෝ වේවා, පසුගිය වසරවල යුරෝපයේ මිලියන ගණනක් දරුවන් එන්නත ලබාගෙන නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය පැතිරුණු කාලයේ ලෝකයේ බොහෝ කලාපවල සරම්ප රෝගය දක්නට ලැබුණේ නැත. ඒ කාලයේ අගුලුලෑම් වැනි සීමාවන් ක්‍රියාත්මක වීම, පාසල් වසා තැබීම වැනි කාරණා ද ඊට හේතු වන්නට ඇතැයි සැලකේ. නමුත් මෙම කාලය තුළ එන්නත්කරණය නිසි ආකාරයෙන් සිදු නොවුණු නිසා ඉහත කී සෞඛ්‍යාරක්‍ෂක සීමාවන් ඉවත් කිරීමත් සමග රෝගය පැතිරෙන්නට පටන් ගෙන ඇති බව පෙනේ.

එන්නත ලබා දිය යුතු වයසට වඩා අඩු වයස්වල දරුවන්, ගැබිනි කාන්තාවන්, විවිධ හේතු නිසා සිරුරේ ප්‍රතිශක්තිය අඩු වූ පුද්ගලයන් සරම්ප රෝගයට ගොදුරු වීමට වැඩි ඉඩක් තිබේ. ගර්භණී කාන්තාවන් මෙම රෝගයෙන් ආරක්‍ෂා වීම අතිශයින් වැදගත් ය. රෝගය වැළඳුනහොත් එයින් කුස තුළ සිටින දරුවාට දැඩි බලපෑම් ඇති විය හැකි බැවිනි. දරුවා මිය යාමට පවා ඉඩ තිබේ. ගබ්සා වීම් සහ නොමේරූ දරු උපත් සිදුවීමට ද ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කර තිබූ රටවල නැවත රෝගය හිස ඔසවමින් තිබීම සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු වී ඇති කාරණයකි. යම් රටකින් සරම්ප සම්පූර්ණයෙන් තුරන් කිරීමට නම් එරට දරුවන්ගෙන් සියයට 95 ක ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක් කළ යුතුය. මෙහි දී එම්එම්ආර් එන්නතේ මාත්‍රා දෙකම ලබා දීම අතිශයින් වැදගත් ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර