දළදා කරඬුව මාරු කිරීම නීති විරෝධීයි

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ සිටි පෞරාණික කරඬුව ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් ආදේශ කිරීම බරපතළ කරුණක් බවත්, එවැනි පෞරාණික උරුම වස්තුවක් හිතුමතේ වෙනස් කිරීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නොමැති බවත් හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා ප්‍රකාශ කරයි.ඔහු පෙන්වා දෙන්නේ මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයේ මහානායක හිමිවරුන් මෙන්ම දියවඩන නිලමේවරයාද දළදා මාලිගාවේ දේපළ හා උරුමයන් සම්බන්ධයෙන් භාරකාර වගකීම දරන පාර්ශ්වයන් මිස එම උරුමයන්ගේ පෞද්ගලික අයිතිකරුවන් නොවන බවයි. ඒ අනුව, විහාර දේවාලගම් ආඥා පනත හා පුරාවිද්‍යා ආඥා පනත යටතේ පවතින වගකීම් නොසලකා ඓතිහාසික වස්තුවක් ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලු පැනනැගිය හැකි බව ඔහු අවධාරණය කරයි.මෙම ප්‍රකාශය එල්ල වන්නේ සැප්තැම්බර් 8 වැනිදා ශ්‍රී දළදා මාලිගාවට නව රන් කරඬුවක් පූජා කිරීමෙන් අනතුරුවය. මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත යවන ලද ලිපියක් අනුව නව කරඬුව කිලෝග්‍රෑම් 86.04ක බරකින් යුක්ත වන අතර, එහි පිරිසිදු රන් කිලෝග්‍රෑම් 65.224ක්, විවිධ මැණික් කිලෝග්‍රෑම් 1.480ක් සහ සහායක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822ක් අඩංගු වේ.එම පාර්ශ්වයන්ගේ පැහැදිලි කිරීම අනුව නව කරඬුව පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස සම්පූර්ණයෙන්ම මුදල් දායකත්වය ලබා දෙමින් සකස් කර ඇති අතර, පැරණි රන් ආලේපිත කරඬුව දළදා මාලිගා පරිශ්‍රය තුළ ආරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගනිමින් සිටී. එම නිසා පැරණි කරඬුව විනාශ කිරීමක් හෝ ඉවත දැමීමක් සිදුවන බවට පළවන අදහස් සම්බන්ධයෙන් දළදා මාලිගා පාර්ශ්වය වෙනස් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ.කෙසේ වෙතත්, නෙරංජන් විජයරත්න මහතා අවධාරණය කරන්නේ පෞරාණික කරඬුවේ ඓතිහාසික වටිනාකම සැලකිල්ලට ගනිමින් එහි භාවිතය වෙනස් කිරීම හෝ එය වෙනත් ස්ථානයකට මාරු කිරීම සම්බන්ධයෙන් විධිමත් සංරක්ෂණ හා නීතිමය ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු බවයි.ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම කරුණ සැහැල්ලුවෙන් නොසලකා, ශ්‍රී ලංකාවට අයත් අමිල ආගමික හා සංස්කෘතික උරුමයක් ලෙස පැරණි කරඬුවේ ආරක්ෂාව සහ අනාගත සංරක්ෂණය පිළිබඳව රජය, මහා සංඝරත්නය සහ අදාළ රාජ්‍ය ආයතන විධිමත් අවධානයක් යොමු කළ යුතු බවයි.

කාලීන පුවත්