ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 රාජ්‍ය උපසම්පදා මහෝත්සවය පසුගිය 09 වැනිදා පස්වරුවේ කළුතර බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුව ද, එහිදී ජනාධිපතිවරයාගේ හැසිරීම මේ වන විට දේශපාලන හා සමාජ කරළියේ දැඩි කතාබහකට තුඩු දී තිබේ. විනාඩි 40ක පමණ කාලයක් උත්සව සභාවේ රැඳී සිටි ජනාධිපතිවරයා, න්‍යාය පත්‍රයේ තමන් වෙනුවෙන් වෙන් කර තිබූ විශේෂ දේශනය පවා සිදු නොකර කිසිවකුටත් නොදන්වා හදිසියේම උත්සව භූමියෙන් පිටව ගොස් ඇත. එහෙත් පිටව යාමට මොහොතකට පෙර එහි සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පමණක් ගොස් අතට අත දී ආචාර කර සමුගැනීම විශේෂ අවධානයක් දිනා ගත් සිදුවීමක් විය. රාජ්‍ය අනුග්‍රහය ලත් සම්භාවනීය ආගමික උත්සවයකින් කිසිදු හේතු දැක්වීමකින් තොරව රාජ්‍ය නායකයකු මෙලෙස නික්ම යාමත්, වෙනත් කිසිදු ආරාධිතයකුට නොදන්වා විපක්ෂ නායකවරයාට පමණක් සමුදීමත් හේතුවෙන් රැස්ව සිටි මහා සංඝරත්නය මෙන්ම ආරාධිතයින් ද දැඩි මවිතයට පත් වූ බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ නිල පාර්ශ්වයක් මේ දක්වා කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නොමැති වීමත් සමඟ දේශපාලන විශ්ලේෂකයින් විවිධ අනුමාන ඉදිරිපත් කරමින් සිටී. ඇතැමුන් මෙය දේශපාලන සුහදතාවයක සංකේතයක් හෝ සුවිශේෂී පණිවිඩයක් ලෙස හුවා දක්වන අතර, තවත් පිරිසක් එය හදිසි රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතාවයක්, සෞඛ්‍යමය හේතුවක් හෝ ආරක්ෂක ගැටලුවක් විය හැකි බවට මත පළ කරති. ජනාධිපතිවරයා මීට පෙර ශ්‍රී මහා බෝධිය අභියස පැවති ජාතික අලුත් සහල් මංගල්‍යය වැනි රාජ්‍ය ආගමික උත්සව සඳහා ක්‍රියාකාරීව දායක වූ පසුබිමක මෙම හදිසි නික්ම යාම සම්ප්රදාය කඩකිරීමක් ද නැතහොත් නොවැළැක්විය හැකි හේතුවක් මත සිදු වූවක් ද යන්න පිළිබඳව ආගමික නායකයන් හා මහජනතාව අතර ද විවාද මතුව තිබේ.
මේ අතර, වසර 9කට පසුව පැවැත්වෙන මෙම රාජ්‍ය උපසම්පදා විනය කර්මය ජූලි 22 වැනිදා දක්වා කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී පැවැත්වෙන අතර සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් උපසම්පදා ලැබීමට නියමිතය. පසුගිය ජනවාරි 01 වැනිදා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමිපාණන් බැහැදැකීමට ගිය අවස්ථාවේ උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙම උත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ සංවිධානය වූ අතර, එදින ‘අමරපුර ශාස්ත්‍රීය සංග්‍රහය’ ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයට අදාළ සත්‍ය හේතුව නිල නිවේදනයක් මගින් තහවුරු වන තෙක් එය වටා ගොඩනැගෙන දේශපාලන අනුමාන තවදුරටත් උණුසුම් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.