ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලබාදීමට ජනපතිට බලය තිබෙනවා

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුමැතියකින් තොරව ඉවත් කිරීම බරපතළ වරදක් බව එම සංඝ සභාවේ අනුනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.එම වරදට සහනයක් සැලසීම සඳහා ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලබාදිය යුතු බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාට බලය ඇති බවත් පෙන්වා දෙන උන්වහන්සේ, තමන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම බව ද ප්‍රකාශ කරති.භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම හෝ සිවුර තවදුරටත් දැරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගැනීම අදාළ මහා සංඝ සභාවට පැවරෙන ශාසනික වගකීමක් බව ද කොටපිටියේ රාහුල හිමියෝ මීට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියකින් පෙන්වා දී තිබිණි.ඒ අනුව, බන්ධනාගාර පරිපාලනයේ ක්‍රියාමාර්ග සහ භික්ෂුවකගේ ශාසනික තත්ත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය අතර පවතින වෙනස පිළිබඳව ද උන්වහන්සේගේ ප්‍රකාශයෙන් අවධානය යොමු වේ.මේ අතර, ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා ගෙන යන ක්‍රියාමාර්ගය ආණ්ඩුව පෙරළීමේ දේශපාලන අරමුණකින් ක්‍රියාත්මක වන්නක් නොවන බව ද කොටපිටියේ රාහුල හිමියෝ පසුගිය 20 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.ඥානසාර හිමියන්ගේ සිවුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නීතිමය හා බන්ධනාගාර පරිපාලනමය කාරණයකට පමණක් සීමා නොවන බවත්, එය බෞද්ධ ශාසනික බලතල හා සම්ප්‍රදායන් පිළිබඳ ප්‍රශ්නයක් ද වන බවත් උන්වහන්සේගේ අදහස්වලින් අවධාරණය කෙරේ.

කාලීන පුවත්