ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්

ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට දින කිට්ටු වෙනවත් එක්කම පොඩි පණිවිඩයක් ඔයාලත් එක්ක බෙදාහදා ගන්න ඕන කියල මට කල්පනාවට ආවා. හරියටම පසුගිය වසරේ පෙබරවාරි 10 දින රටේ පිළිගත් එක්තරා දේශපාලන පක්ෂයක් විසින් මහරගම නගරයේ සංවිධානය කර තිබූ දේශපාලන රැළියකට එහි සංවිධායකයන් විසින් රතිඤ්ඤා සහ මල් වෙඩි ඉතා විශාල වශයෙන් යොදාගෙන තිබුණා.මෙමඟින් ඇතිවූ ශබ්දයත් සමඟ නොසන්සුන් වූ මාගේ මහරගම පිහිටි නිවසේ ජීවත් වන තිහකට ආසන්න වූ සුරතල් සතුන් බොහෝ සෙයින් බියට පත් වී, එය විශාල රණ්ඩුවකින් කෙළවර කරගෙන තිබුණා. මාගේ නිවසේ ජීවත් වන සියලුම සුනඛයන් මා විසින් මුදල් දී මිලට ගත් වංශවත් සුනඛයන් නොව, බොහෝ විට පාරේ අසරණව සිටි සුනඛයන් බව බොහෝ දෙනා දන්නා කරුණක්.
විශේෂයෙන්ම ඔවුන්ට ජීවත් වීම සඳහා මා විසින් වෙනවෙනම වෙන් කරන ලද සුනඛ නිවාස ඉදිකර තිබුණත් දවසේ වැඩි කාලයක් ඔවුන් එකි`නෙකා හා බද්ධ වෙමින්, එක්ව සමඟියෙන් වාසය කළා. එහෙත්, මෙවර අහඹු ලෙස සිදුවූ මේ සිදුවීමත් සමඟ සහෝදරත්වයෙන් එකට වාසය කළ ඔවුන් එකි`නෙකා දරුණු ආකාරයෙන් සපාකෑමට ලක් කරගෙන තිබුණා.

මේ සිදුවීමෙන් පසු මා බොහෝ සෙයින් ආදරය කළ එක්තරා සුනඛයෙක්, අනිත් සතුන් අතින් දරුණු සපාකෑමකට ලක්ව, ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර හදිසියේම අප අතරින් සමුගෙන ගියා. එම ආදරණීය සුනඛයාව මීට තෙවසරකට ඉහතදී මා වෙත ලබා දුන්නේ පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක ස්වාමීන්වහන්සේ විසින් වන අතර අප විසින් ආදරේට ඔහුට ආමන්ත්‍රණය කළේ ‘ කලු කොල්ලා ‘ යන සුරතල් නාමයෙන්.

ඉතින් අවාසනාවත් ලෙස අප අතරින් සමුගෙන යන්න ගිය කලු කොල්ලා සිහිපත් කරමින්, මෙවර සිංහල හින්දු නව වසර වෙනුවෙන් රතිඤ්ඤා භාවිතය අවම කිරීමට හැකිතාක් කටයුතු කරන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. මන්ද මෙය අපට හුදෙක් විනෝදකාමී කටයුත්තක් වුවත්, අසරණ සතුන්ට නම් ඒ ශබ්දය ලොකු කම්පනයක්.
රතිඤ්ඤා ශබ්දයට අපේ අවට පරිසරයේ ජීවත් වෙන කුරුලු පැටවු, ලේන් පැටවු ඔක්කොගෙම කන් අඩි පුපුරල වේදනාවෙන් මැරෙනවා. විශේෂයෙන්ම ලේන්කූඩු වල ඉන්න පැටවු බිමට වැටිල මැරෙනවා මම දැකල තියනවා. රතිඤ්ඤා ශබ්දය බල්ලන්ට දරාගන්න බැරි වේදනාවක් ගෙන එනවා කියල අපි හැමෝම දන්නවා. ඒ ගැන දැන දැනත් අපි රතිඤ්ඤා දල්වනව නම්, අපේ මනුෂ්‍යත්වය කොතනකටද අරගෙන යන්නෙ කියන එක සම්බන්ධයෙන් අපි ආයෙත් කල්පනා කරන්නම වෙනවා. ඒ නිසා අපේ සතුට වගේම ඔවුන්ගේ ජීවිතත් රැකගන්න කටයුතු කරන්න. මොකද ඔබ විසින් දල්වන පුංචි රතිඤ්ඤා කරලකට පුලුවන්, ඔවුන්ගේ ජීවිතයක් අහිමි කරන්න.!

සතුන්ටත් හිමි අපේ ලෝකය