ඩොලර් මිලියන 2.5 ගැන කරුණු දැන ගන්න මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් කාරක සභාවට ගෙන්වනවා

විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවීමට ගිය අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ බරපතළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් කණ්ඩායම වහාම පාර්ලිමේන්තු මුදල් කාරක සභාව හමුවට කැඳවීමට පියවර ගන්නා බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.රජයේ මුදල් පිළිබඳ පූර්ණ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බැවින්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකීම දැරීමට මුදල් අමාත්‍යාංශයට සිදුවන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
“පාර්ලිමේන්තුවට තමයි මුදල් පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන්නේ මුදල් කාරක සභාව හරහා. ඒකේ සභාපති හැටියට මම අපේ කමිටුවේ සියලුම සාමාජිකයින්ට මේ වන විටත් කතා කර තිබෙනවා. මෙම නිලධාරීන්ව හැකි ඉක්මනට පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ සිද්ධිය ගැන විස්තර කරන්න වෙයි. මෙය හුදෙක් කාර්යාලයීය දෝෂයක් නෙමෙයි, ව්‍යවස්ථාවෙන්ම පාර්ලිමේන්තුවට දීලා තිබෙන වගකීමක්.”මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය
රජයේ අරමුදල් වෙනත් පාර්ශ්වයන් අතට පත්වීම වැනි බරපතළ සිදුවීම් පිළිබඳව මහජනතාවට වගකීමට රජය බැඳී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව කරුණු අනාවරණය කළ යුතු බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කාලීන පුවත්