“දිවයින” කතුවැකියකින් මෙරට භික්ෂූන්ට රතු එළියක්

මහා සංඝරත්නයට අපහාස කිරීම යන්න ජාතික වශයෙන් බලන විට අතිශය බරපතල කාරණයකි.කිසියම් කෙනකු පිරිසක් එවැනි කටයුත්තක යෙදුණු සැනින් ඊට එරෙහිව නැඟී සිටින ගිහි විද්වතුන්, ප්‍රභූන් ගෙන් අතීතයේ කිසිදු අඩුවක් නොවිණි.ඒ අප සමාජ සම්මතයේ එන “ජාතික තලය”නමින් හඳුන්වන පොදු හා මධ්‍යගත සමාජ ස්ථාවරය එවැනි ක්‍රියා මුළුමනින් පිටු දැක තිබූ බැවිනි.

“දිවයින”යනු අප සමාජයේ ජාතික වශයෙන් හඳුන්වන පුවත් පතකි. ඇතැමුන් පවසන අන්දමට එය ශ්‍රී ලාංකේය ජාතිකතවය අතුරින් සිංහල බෞද්ධ නමින් හැඳින්වෙන අනන්‍යතා පදනම තහවුරු කරවීම පිණිස ගත වූ කාලය පුරා කටයුතු කළ පුවත්පතකි.එමෙන්ම එම පුවත්පත මඟින් අසිංහල,අබෞද්ධ ජන කොටස් වෙත යම් යම් අගතීන් සිදුව ඇති බවට ද සමහරෙක් මත පළ කරති.එනිසාම අසිංහල හා අබෞද්ධ සිංහල පාඨකයන් “දිවයින” එතරම් නොරිස්සූ බව ද කියනු ලැබේ.එවන් තත්වයක් යටතේ මෙම මැයි 07 ඉරිදා “දිවයින කතුවැකිය මඟින් එම ගමන් මඟෙහි පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් මෙරට භික්ෂු ප්‍රජාව හමුවේ “රතු එළියක්” දල්වා තිබේ.එම කතු වැකිය සම්පූර්ණයෙන් මෙලෙසිනි.

ඉකුත් සිකුරාදට යෙදී තිබුණු වෙසක් උළෙලෙහි සුවඳ තවමත් පවතී. ජනවාරි 1 දා සතුට එදා රෑ 12 න් අවසන් ය. සිංහල අවුරුද්දේ සතුට අප්‍රේල් 15 දා වනවිට ඉවර ය. වෙසඟෙහි සතුට ඒ ආකාරයේ පැය 24 සතුටක් නොවේ. මේ රට බෞද්ධ රටක් බවට පත් වූ දවසේ සිට අද දක්වාම වෙසඟෙහි සතුට සහ හරය පැය 24 ට සීමා නොවී දිගටම පවතී. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ ස්වකීය විමුක්තිය උදෙසා මෙන්ම සෙස්සන්ට ද විමුක්තිය ළඟා කරදීම සඳහා සොයාගත් නිවන් මග මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කිසියම් මනුෂ්‍යයකු විසින් හෙළි පෙහෙළි කරගන්නා ලද විශිෂ්ටතම මාර්ගය වන්නේ ය. දැනට මේ රටේ දැහැමි සමාජයටත් විද්වත් සමාජයටත් කිසියම් ප්‍රශ්නයක් තිබේ. එනම් වෙසක් උළෙල එහි සැබෑ අරුත ධ්වනිත වන පරිදි අදටත් ක්‍රියාත්මක වන්නේ ද යන්න ය. බුදු සසුන අවුරුදු 2500 ට වඩා පැරණි ය. බුදු තෙමඟුල උළෙලක් ලෙස පැවැත්වීමට පටන්ගෙන අවුරුදු දෙදහසක් පමණ ගතවී ඇති බවක් පෙනෙන්නට තිබේ. අවුරුදු දෙදහසක් තිස්සේ යන ගමනකදී බොහෝ දේවල් සිදුවිය හැකි ය. ඒ නිසා සමහර දේවල මූලික හරය පමණක් ඉතිරිව තිබෙද්දී කාලයාගේ ඇවෑමෙන් බොහෝ වෙනස්කම් සිදුවේ. බුදු තෙමඟුලෙහි ප්‍රමුඛ අරමුණ වන්නේ ප්‍රතිපත්ති පූජාවයි. මේ අනුව අප විසින් කල්පනා කරනු ලැබිය යුත්තේ ප්‍රතිපත්ති පූජාව නිසි පරිදි සිදුවේ ද යන්න පමණි.

ලෝකය නවීන වත්ම පැරණි දේවල මුල් ස්වරූපය බෙහෙවින් වෙනස් විය. ඉතා ආසන්න උදාහරණයක් ලෙස බටහිර වෛද්‍ය විද්‍යාව ගත හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා හිපොක්‍රටීස් ලෙස සලකනු ලැබේ. ඔහු උපදින්නේ බුදුන් වහන්සේගේ උපතින් අවුරුදු දෙසීයකට පමණ පසු ය. ඔහු ග්‍රීකයෙකි. ග්‍රීසියේ සම්භාව්‍ය යුගය නියෝජනය කළ ඔහු හඳුන්වාදුන් වෛද්‍ය ක්‍රමය ඉතාම ජනප්‍රිය විය. එය මධ්‍යකාලීන යුගය තෙක්ම කිසිදු වෙනසක් නොවී ඒ ආකාරයෙන්ම පැමිණියේය. ලොකුම ප්‍රශ්නය වූයේ කොතරම් කල් ගියත් එය සීමාසහිත වෛද්‍ය ක්‍රමයක් වීම ය. හිපොක්‍රටීස්ගේ ප්‍රතිකාර ක්‍රමය අනුව ශරීරයේ ලේ ඉවත් කිරීම යනුවෙන් ක්‍රමවේදයක් තිබිණ. මෙහිදී සිදුවන්නේ කිසියම් රෝගියකු රෝගී වී ඔහුට අධික ලෙස උණ ගැනුණු විට ශරීරයේ අධික ලෙස හටගන්නා අධික රුධිර පීඩනය අඩු කිරීම ය. අද අධික රුධිර පීඩනයට විසඳුම වන්නේ එකම එක ටැබ්ලට් එකකි. එහෙත් එදා එවැනි දේවල් නොතිබිණ. එදා සිදුකළේ බරපතල ලෙස උණෙන් පෙළුණු රෝගියාගේ නහරයක් සිදුරු කර ශරීරයේ ලේවලින් කොටසක් එළියට ගලා යෑමට සැලැස්වීම ය. එවිට සිරුරේ ලේ ප්‍රමාණාත්මකව අඩුවීම නිසා රෝගියාගේ රුධිර පීඩනය අඩුවී රෝගියාගේ උණ ද බැස්සේ ය. නැවත වරක් රුධිර පීඩනය වැඩිවී උණ ද වැඩි වූ විට නැවත මෙයම සිදුකරන ලදි. මෙය නැවත නැවත සිදුකිරීමේදී රෝගියාගේ ශරීරයේ ලේ නිමවී හෙතෙම මළේය. ලෝක ප්‍රකට කවියකු වූ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් මිය යන්නේ ද මෙකී ලේ ඉවත් කිරීමේ ප්‍රතිකාරය නිසා ය. එහෙත් අද වනවිට බටහිර වෛද්‍ය විද්‍යාවේ හිපොක්‍රටීස්ගේ වේස්ටේජ් ඉවත් කර වඩා පලදායි වෛද්‍ය ක්‍රමයක් හඳුන්වා දී ඇත.

කාලයාගේ ඇවෑමෙන් බුදු දහමට සිදුවුණේ කුමක්දැයි සොයාබලමු. දහම එසේම පවතී. එහෙත්, එය පරිහරණය කරන ඇතැම්මු පල් හොරු ය. සමහරු පවුල් හා පන්සල් දෙකම එකට “රන්” කළ ගණින්නාන්සේලා හා සමාන ය. ඇතැම් බෞද්ධ භික්ෂූන් වන්හසේලා අපවත් වූ කල්හි උන්වහන්සේගේ දේපළ බෙදාහදාගැනීම පිණිස ගිහියන් අතර ආරවුල් හටගන්නා තත්ත්වයක් දැන් පැන නැගී තිබේ. කිසියම් භික්ෂුවක් නැසුණු කල්හි උන්වහන්සේගේ මොන්ටෙරෝව තමන්ට අයිති බව කියමින් එක් පුද්ගලයෙක් පොලිසි යයි. උන් වහන්සේගේ ඉඩකඩම් තමන්ට අයිති බව කියමින් තවත් කාන්තාවක් උසාවි යයි. මෙය බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල පරිහානියක් හෝ ශාසනයේ පරිහානියක් නොව එම සසුනෙහි කරණම් ගසන ඇතැම් දුශ්ශීල භික්ෂූන්ගේ හැසිරීමෙහි ප්‍රතිපලයකි. මේ රටේ ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් මෑත ඉතිහාසයේ කරන ලද වඩාත්ම නරක සහ වඩාත්ම නිග්‍රහශීලී ක්‍රියාව වූ කලී දේශපාලනය කිරීමයි. භික්ෂූන් වහන්සේලා දේශපාලනයට යෑමත් සමගම පාර්ලිමේන්තුවේ කුණුහරුප වරුසා වලට මැදිවීමට උන්වහන්සේලාට සිදු විය. එක්තරා අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ සිටි දාමරික සහ දූෂිත දේශපාලනඥයකු විසින් සභා ගර්භයේදීම යටි කය මඩින ලදී. මෙය කොතරම් නරකට බලපෑවේ ද යත් ඊළඟ ඡන්දයේදී එම භික්ෂු කණ්ඩායමෙන් 75% ක් පමණ දේශපාලනයෙන් ඉවත් වූහ. බලලෝභී භික්ෂූන් කිහිපදෙනෙක් පමණක් කහ සිරුරෙන් කය වසාගෙන දේශපාලන කටුඉඹුලෙහි අදටත් එල්ලී සිටිති. දේශපාලනය කරන භික්ෂූන්වහන්සේලා නිදහසට ඉදිරිපත් කරන කාරණය නම් රජ දවසේ සිට භික්ෂූන් වහන්සේලා රජුට උපදෙස් දුන් බව ය. රජාට උපදෙස් දීම එක වැඩකි. රජාගේ ඇමැති මණ්ඩලයේ වාඩි වීම තවත් වැඩකි. උදැල්ලක් ගෙන පොළවෙහි පස් පිඬක් කැපීම පවා භික්ෂූන්ට තහනම් ය. එයට හේතුව පස් කපන විට ඒ තුළ සිටින ගැඩවිලුන් ද කැපීයෑම ය. එවිට ප්‍රාණඝාතයක් සිදුවේ. දේශපාලනය යනු වංචා දූෂණ මනුෂ්‍ය ඝාතන යනාදී සියලු අවැඩට මග ය. භික්ෂූන් දේශපාලන මගට පිවිසීමෙන් නිවන් මග සම්පූර්ණයෙන්ම රසඩැරි විය.ගතවූ වෙසක් උළෙලට සමාන්තරව අප සිත්හි උපන් අදහස් මේවාය.(උපුටා දැක්වීම අවසන් )

ඉහත සඳහන් කතුවැකිය මඟින් මෙරට භික්ෂු ප්‍රජාව වෙත අනියමින් එල්ල කොට ඇති චෝදනා සුළු පටු නැත.එහෙත්, ඊට එරෙහිව සමාජයෙන් මී හඬක් වත් නිකුත් නොවීමෙන් ඒවා පදනම් විරහිත අසත්‍ය චෝදනා නොවන බව මනාව පැහැදිලි වෙයි.ඩී.එස් සේනානායකයන් මත ඇති කර ගත් දේශපාලන ආරෝවක් පසුබිම් කර ගනිමින් 1946වසරේ වල්පොල රාහුල හිමිපාණන් ලියූ “භික්ෂුවගේ උරුමය”ලක් ඉතිහාසය සම්බන්ධ කෘතිය සහ එම වසරේ ම එළිදැක්වුණු විද්‍යාලංකාර ප්‍රකාශනය මඟින් සමකාලීන භික්ෂු ප්‍රජාව බුදු මඟින් අන් අතකට යොමු කොට ඇතැයි පසුගිය කාලයේ අප රටේ විසූ බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය විෂය පථය සම්බන්ධ ප්‍රාමාණික හැදෑරීමක් කළ පඬිවරයකු වූ මහාචාර්ය ඩබ්ලිව්.එස් කරුණාරත්නයෝ තරයේ අවධාරණය කොට සිටියහ.එහෙත්, ඊට එරෙහි වූ විද්‍යාංකාර කඳවුරේ භික්ෂූන් ඊට දැඩිව විරෝධය පාමින් භික්ෂුව ගේ සැබෑ උරුමය එයම බව පුන පුනා පවසන්නට වූහ.එවිට මහාචාර්ය ඩබ්ලිව්.එස් කරුණාරත්නයන් දුන් පිළිතුර වූයේ “තමුන්නාන්සේලා දැන් ඔය විදිහට මඟ තොට වරද්දා ගත්තොත් හෙට අනිද්දා වෙන කොට තමුන්නාන්සේලාගෙ ඊළඟ පරම්පරාව ශාසනික වශයෙන් මංමුලා වෙනවා.කොහොම හරි ඔය කතන්දරේ ඉවර වෙන්නේ කවදා හරි උන්නාන්සේලාට ගිහියන් ගෙන් පන්සිල් සමාදන් වෙන්න වුණු දවසට තමයි.අන්න ඒක හොඳට මතක තියාගන්න”යන්න ය.

ඉහත සඳහන් දිවයින කතුවැකිය කියැවූ අපට වැටහී ගියේ 1960 දශකයේ මහාචාර්ය ඩබ්ලිව්.එස් කරුණාරත්නයන් පළ කළ ඒ බිහිසුණු අනාවැකියේ සත්‍යතාව දැන් අපගේ “අත පොවන මානයටම” පැමිණ ඇති බවකි.

හේමන්ත රන්බණ්ඩාර

එතෙර - මෙතෙර