දෝනි ක්‍රිකට්වලින් සමු අරන් රඟපෑමට එක් වෙයි ද?

ඉන්දියාවේ සුපරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්‍ද්‍ර සිං දෝනි චිත්‍රපට රංගනයට එක් වෙයි ද?
ඔහුගේ බිරිඳ කියන විදියට නම් එය ඉදිරියේ දී සිදුවිය හැක්කකි. සාක්‍ෂි නම් වන දෝනිගේ බිරිඳ මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක කියා තිබූ කතාවකට මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමුව තිබිණි. ඇය පවසා තිබුණේ හොඳ, ප්‍රබල කතා පුවතක් අඩංගු චිත්‍රපටයකට ඇරයුම් ලැබුණහොත් තම සැමියා එහි රඟපෑමට අකැමැති නොවනු ඇති බවයි. පසුගිය දා මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඇය මේ බව පවසා තිබුණාය. එහි දී ඉහත කී මාධ්‍යවේදියා ඇයගෙන් අසා තිබුණේ දෝනි ඉදිරියේ දී සිනමා රංගනයට එක් වනු ඇත්ද කියාය.

මෙවැනි ප්‍රශ්නයක් මාධ්‍යවේදියා අසා ඇත්තේ දෝනි දැනටමත් ක්‍රිකට් ක්‍ෂේත්‍රයෙන් සිනමා ක්‍ෂේත්‍රයට ද පිවිස ඇති බැවිනි. ඒ චිත්‍රපට නිශ්පාදකවරයකු ලෙසිනි. දෝනි සහ ඔහුගේ බිරිඳ මේ වනවිට චිත්‍රපට නිශ්පාදන සමාගමක් පිහිටුවාගෙන ඇති අතර එය නම් කර ඇත්තේ Dhoni Entertainment Limited යනුවෙනි. මෙම සමාගම විසින් නිශ්පාදනය කරන ලද පළමු සිනමාපටය පසුගිය සතියේ ප්‍රදර්ශණය ආරම්භ කළේය. දෙමළ සිනමාපටයක් වන එහි නම Let’s Get Married ය. එය ආදර කතාවක් රැගත් හාස්‍යොත්පාදක සිනමාපටයකි.

දෝනි ඉදිරියේ දී සිනමා රංගනයට එක් වන්නේ නම් ඒ ගැන සාක්ෂි මහත් සතුටට පත්වනු ඇති බව පෙනේ. ‘ඒ දවස එනකං මා නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. එය මගේ ජීවිතයේ සතුටුදායකම දවසක් වනු ඇති’ යයි ඇය පවසා තිබිණි. රඟපෑම දෝනිට අලුත් දෙයක් නොවන බව ද, ඔහු වෙළෙඳ දැන්වීම් ගණනාවක රඟපා ඇති බව ද, ඔහු කැමරාවට බය කෙනෙකු නොවන බව ද සාක්‍ෂි පවසයි. ‘2006 ඉඳලම ඔහු කැමරා ඉදිරියේ රඟපානවා’ යයි ඇය තවදුරටත් සඳහන් කර තිබිණි. තම සැමියා රඟපාන චිත්‍රපටය තෝරා දෙන්නට තමාට අවස්ථාවක් ලැබුණහොත් තමා තෝරා දෙන්නේ ක්‍රියාදාම (Action) චිත්‍රපටයක් බවයි සාක්‍ෂි පවසන්නේ. ‘ඔහු නිතරම හරි ක්‍රියාශීලී කෙනෙක්නේ. ඒකයි’ යනුවෙන් ඇය පවසා තිබුණාය.

දෝනි සහ සාක්ෂි නිශ්පාදනය කළ Let’s Get Married සිනමාපටයට පසුබිම් වන්නේ නැන්දම්මා කෙනෙකු සහ ලේලියක අතර ප්‍රශ්නයකි. මීරා සහ ගෞතම් විවාහ වීමට අදහස් කරගෙන සිටින ආදරවන්තයන් දෙදෙනෙකි. නමුත් මීරා වරක් ගෞතම්ට පවසන්නේ ගෞතම්ගේ මව සමග තමාට ගැටුම්වලින් තොරව ජීවත් විය හැකිද යන්න විවාහයට කලින් තමා දැනගත යුතු බවයි. මේ ගැන තේරුම් ගැනීම සඳහා දෙදෙනාගේ මව්පියන් ද සමග විනෝද චාරිකාවක් යමු යයි මීරා යෝජනා කරයි. චිත්‍රපටය ඉදිරියට යන්නේ මෙවැනි සිදුවීම් පෙලක් හරහා ය. විවාහ වන තරුණියන්ට තම ස්වාමි පුරුෂයා සමග ජීවත් වනවාට අමතරව ඔහුගේ වැඩිහිටියන්ට ගැලපෙන අයුරින් ද ජීවත් වීමට සිදුවීම සුළභ ගැටළුවක් බව රහසක් නොවේ. Let’s Get Married තුළින් සාකච්ඡා කිරීමට උත්සාහ කරන්නේ මෙම ගැටලුව පිලිබඳව ය.

තම සමාගම පළමු සිනමාපටය ලෙස දෙමළ සිනමාපටයක් නිශ්පාදනය කිරීමට හේතුව තමිල්නාඩු ප්‍රාන්තය සමග ඔවුන්ගේ ඉතා සමීප බැඳීමක් තිබීම බව ද සාක්ෂි කියයි. තමිල්නාඩුවේ බහුතරයක් සිටින්නේ දෙමළ ජනතාව ය. දෝනි ද වරක් පවසා තිබුණේ තමිල්නාඩුව තමාව ඔවුන්ගේම දරුවකු ලෙස ආදරයෙන් රැකබලා ගත් බවයි. ඔහු අයි.පී.එල්. තරගාවලියේ දී ක්‍රීඩා කරන්නේ ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙනි. චෙන්නායි යනු තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර යි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ද දෝනි යි.

මෙයට මාස කිහිපයකට පෙර අවසන් වූ 2023 අයි.පී.එල්. තරගාවලියේ දී ශූරයන් බවට පත් වූයේත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ය. මෙය එම කණ්ඩායම ශූරතාව දිනාගත් පස්වැනි වතාවයි. ඒ සෑම වතාවකම එම කණ්ඩායමට නායකත්වය දුන්නේ එම්.එස්. දෝනි ය. මේ වනවිට 42 වැනි වියෙහි පසුවන දෝනි මෙවර අයි.පී.එල් තරගාවලියෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි බොහෝ දෙනෙකු සිතුවත් තමා තව එක් තරගාවලියක් ක්‍රීඩා කරන බව ඔහු පවසා තිබේ. ඒ මෙවර තරගාවලියේ දී රට පුරා ජනතාව දැක් වූ ආදරය වෙනුවෙන් පුදන තෑග්ගක් ලෙසින් බව ද ඔහු සඳහන් කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස දෝනි ඉමහත් සාර්ථකත්වයක් හිමි කරගෙන සිටියත් චිත්‍රපට නිශ්පාදකයකු ලෙස නම් ඔහු දැනට එතරම් සාර්ථක වී නොමැති බව පෙනේ. ඔහුගේ චිත්‍රපට සමාගම නිපද වූ Let’s Get Married චිත්‍රපටයට ප්‍රේක්‍ෂකයන්ගෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ. බොහෝ විචාරකයන් එය හඳුන්වා තිබුණේ නීරස සිනමාපටයක් ලෙසිනි.

නිහාල් පීරිස්

රසගඟුල