ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (29) පොලිස්පතිවරයාට නියෝග කළේය.මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය. ඥානසාර හිමියන්ට අදාළව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කෙරිණි.ඥානසාර හිමියන්ට ලබාදී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමෙන් අනතුරුව, අභියාචනාධිකරණය නියම කළ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් මත නීතිපතිවරයා විසින් මෙම මෝසම ගොනු කර තිබිණි.ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කළේ උන් වහන්සේ පිත්තාශයේ සැත්කමකට ලක්ව විහාරස්ථානයේ විවේක ගනිමින් සිටින බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි. එහෙත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන් එම කරුණ පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය සඳහන් කළේය.ඒ අනුව ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අධිකරණය, නඩුව එදින යළි කැඳවීමට නියම කළේය.