නරේන්‍ද්‍ර මෝදි තුන්වැනි වරටත් අගමැති වන ලකුණු

ඉන්දියාවේ පහළ වූ ප්‍රබලම දේශපාලන නායකයකු ලෙස සැලකෙන නරේන්‍ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වැනි වතාවටත් එරට අගමැති වීමට යන ලකුණු පහළ වී තිබේ. පසුගිය කාලයේ පවත්වා තිබූ විවිධ ජනමත සමීක්‍ෂණවලින් මේ බව අනාවරණය වී තිබිණි. නමුත් මේ කාරණය වඩාත් හොඳින් තහවුරු කරන සිදුවීමක් ද පසුගිය දා සිදු විය. එනම් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක පවත්වන ලද ප්‍රාන්ත සභා මැතිවරණවලින් ඔහුගේ භාරතීය ජනතා පක්‍ෂය කැපී පෙනෙන ජයග්‍රහණ හිමි කර ගැනීම යි. මෙම මැතිවරණ පැවැති ප්‍රාන්ත පහෙන් තුනකම බලයට පත් වීමට එම පක්‍ෂයට හැකි විය.

මොදි ගේ පක්‍ෂය මෙම ජයග්‍රහණ හිමි කරගත්තේ එරට මහා මැතිවරණය පැවැත්වීමට ඉතා ආසන්නව තිබියදී වීම විශේෂත්වයකි. තව මාස පහකින් පමණ, එනම් 2024 අප්‍රේල් මාසයේ මහා මැතිවරණය ආරම්භ වීමට නියමිතව තිබේ.

ඉහත සඳහන් කළ ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණේ චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, තෙලඟානා සහ මිසරාම් යන ප්‍රාන්ත පහේ යි. ඒ අතරින් චතිස්ගාර්, මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන් යන ප්‍රාන්ත සභා තුනම ජය ගැනීමට භාරතීය ජනතා පක්‍ෂයට හැකි විය. චතිස්ගාර් ප්‍රාන්ත සභාවේ ආසන 90 න් 54 ක් ද, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ ආසන 230 න් 163 ක් ද, රාජස්ථාන් ප්‍රාන්ත සභාවේ ආසන 200 න් 115 ක් ද ඔවුන් විසින් දිනා ගනු ලැබිණි. මෝදි ගේ පක්‍ෂයේ ප්‍රධාන තරගකරුවා වන ඉන්දීය ජාතික කොංග්‍රසය එම ප්‍රාන්ත සභාවල දිනාගත්තේ පිලිවෙලින් ආසන 35, 66 සහ 69 ක් වශයෙනි. චතිස්ගාර් සහ රාජස්ථාන් යන ප්‍රාන්තවල මෙයට කලින් බලයේ සිටියේ කොංග්‍රස් පක්‍ෂය යි. එම බලය තවදුරටත් රඳවා ගැනීමට නොහැකි වීම ඔවුන් ලැබූ විශාල පරාජයක් ලෙස සැලකිය හැකිය.

මැතිවරණ පැවැති ප්‍රාන්ත පහෙන් කොංග්‍රස් පක්‍ෂයට දිනාගත හැකි වූයේ තෙලඟානා ප්‍රාන්ත සභාව පමණි. තෙලඟානා යනු දකුණු ඉන්දියාවේ පිහිටි ප්‍රාන්තයකි. එම ප්‍රාන්ත සභාවේ ආසන 119 න් ආසන 64 ක් දිනා ගැනීමට කොංග්‍රස් පක්‍ෂයට හැකි විය. මෙහි දී ආසන 8 ක් පමණක් දිනාගත් භාරතීය ජනතා පක්‍ෂයට හිමි වූයේ තුන්වැනි ස්ථානය යි.

කෙසේ හෝ වේවා, සමස්තයක් ලෙස ගත් විට මෙම ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ මෝදි ගේ පක්‍ෂය තවමත් ඉන්දියානු ජනතාව අතර විශාල ආකර්ශණයක් හිමි කරගෙන සිටින බව යි. සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි වැනි ප්‍රබලයන් නායකත්වය දරණ කොංග්‍රස් පක්‍ෂයට තවමත් මෝදි පාලනයට ප්‍රමාණවත් අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. කොංග්‍රස් පක්‍ෂය ඇතුළු එරට විරුද්ධ පක්‍ෂ 28 ක් එකතු වී මෙයට මාස කිහිපයකට පෙර පුළුල් සන්ධානයක් පවා පිහිටුවා ගත්තේය. එය හැඳින්වෙන්නේ -INDIA (Indian National Developmental Inclusive Alliance) යන නමිනි. මෙම සන්ධානය පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ 2024 මහා මැතිවරණයෙන් මෝදිගේ පක්‍ෂය පරාජය කිරීම යි. නමුත් ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵලවලින් නම් පෙනී යන්නේ එය සිතන තරම් පහසු නොවනු ඇති බව ය.

නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂය රටේ බලයට පත් වූයේ 2014 වසරේ පැවැති මහා මැතිවරණයෙනි. එයින් පසු 2019 වසරේ පැවැති මැතිවරණයෙන් ද ජයග්‍රහණය කිරීමට ඊට හැකි විය. බලයට පැමිණ වසර 10 කට පසුවත් ඔවුන්ට සිය ජනප්‍රියත්වය මේ ආකාරයෙන් පවත්වා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. පක්‍ෂයේ මෙම ශක්තියට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ අගමැති මෝදි ගේ දර්ශණය සහ ආකර්ශණීයත්වය යි. ලබන මහා මැතිවරණයෙන් ද එම පක්‍ෂය ජය ගතහොත් මෝදි අඛණ්ඩව තුන්වැනි වරටත් අගමැති පදවියට පත් වනු ඇත. දැනට නම් පෙනෙන්නට ඇත්තේ ඔහු එම ජය කණුව පසුකරන්නට සමත් වනු ඇති බව යි.

ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු මෝදි සිය පක්‍ෂ මූලස්ථානයේ දී පාක්‍ෂිකයන් අමතා කතාවක් කළේය. ඔහු එදින පක්‍ෂ මූලස්ථානය වෙත එද්දී පාක්‍ෂිකයන් ඔහු වෙත මල් විසි කරමින් ඉතා උණුසුම් ලෙස තම නායකයා පිලිගෙන තිබිණි. සිය කතාවේ දී අගමැතිවරයා පැවසුවේ මෙය ඓතිහාසික සහ පෙර නොවූ විරූ ජයග්‍රහණයක් බව යි. “අවංකභාවය, විනිවිදභාවය සහ යහපාලනය ලැබූ ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැකියි’ යයි ද ඔහු සඳහන් කර තිබිණි.

කොංග්‍රස් පක්‍ෂයේ රාහුල් ගාන්ධි ද සිය ආධාරකරුවන් අමතමින් ප්‍රකාශයක් කර තිබූ අතර ඔහු පවසා තිබුණේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව යි.

“මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ රාජස්ථාන් ප්‍රාන්තවල ජනතාවගේ කැමැත්තට අප හිස නමනවා” ඔහු පවසා තිබුණේ එම ප්‍රාන්තවල ලැබූ පරාජය පිලිගනිමිනි. “මතවාදී අරගලය අප අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා. එමෙන්ම තෙලඟානා ප්‍රාන්තයේ ජනතාවට අපගේ ස්තුතිය පුද කරනවා’. මැතිවරණවල දී සිය පක්‍ෂය වෙනුවෙන් වෙහෙස වී වැඩ කළ සියලු දෙනාට ද ඔහු ස්තුති කර තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර