නිල නොලත් ජාතික වාජීකරණ ශාඛය-වැල්පෙනෙල

walpenela

රෝගීන් තමන්ට වැළඳී ඇති රෝග සම්බන්ධ නොයෙකුත් කරුණු, තොරතුරු, විස්තර අසා දැන ගන්නේ තමන් ප්‍රතිකාර ලබන වෛද්‍යවරුන් ගෙනි.

එහෙත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නොදත් තවත් රහසක් තිබේ. එනම් සෑම වෛද්‍යවරයකුම එක් එක් රෝගය හා සම්බන්ධ විවිධ, විෂම රෝග ලක්ෂණ පිළිබඳව තමන් ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ගෙන් ද යම් දැනුමක්, අවබෝධයක් ලබන බව ය.

වෛද්‍යවරයකු ගේ සායනික අත්දැකීම් මත පදනම් වන වෘත්තීය නිපුණත්වය වර්ධනය කරගැනීම පිණිස එය බෙහෙවින් ඉවහල් වෙයි.

අප රටේ ජාතික වෘක්ෂය ‘නා ගස’ බව පාසල් දරුවෝ පවා දනිති. එහෙත්, නිල වශයෙන් ජාතික මට්ටමින් පිළිනොගන්නා මුත් නොනිල ජාතික වාජීකරණ ශාඛයක් පිළිබඳ ප්‍රබල සමාජ මතයක් තිබේ. ඒ ශාඛය අප කවුරුත් හොඳින් දන්නා වැල්පෙනෙල ය.

රෝගීන් සහ සේවාදායකයන්; (මෙහිදී මා සේවාදායකයන් ලෙස හඳුන්වනුයේ සායනික රෝග විනිශ්චයක් නොමැතිව වෛද්‍ය උපදෙස් ගැනීමට පැමිණෙන පිරිස් ය.) සමඟ කරන ලද කතා බස් වලදී ඔවුන් මෙම වැල්පෙනෙල ශාඛය පිළිබඳව නොයෙකුත් කරුණු මා හා කියා තිබේ.

දිනපතා අළුයම වැල්පෙනෙල කැඳ වීදුරුවක් පානය කිරීමෙන් පුරුෂ ලිංගික ශක්තිය ප්‍රවර්ධනය වන බවටත් ශුක්‍ර ධාතු වර්ධනය වන බවටත් ප්‍රබල විශ්වාසයක් ඔවුන් සමහරකු තුළ තිබේ.

ඔවුන් පවසනුයේ මෙය අප සමාජයේ අති විශාල පිරිසක් අත්හදා බලා සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල ලබා ඇති විස්මිත ප්‍රතිකාරයක් බව ය. එබැවින් වැල්පෙනෙල ශාඛය හා ඒ හා සබැඳි ජන විශ්වාස මුල් කොට විධිමත් අධ්‍යයනයක් කළ යුතුයැයි මට සිතිණ.

“වැල්පෙනෙල “සකා-ගිතෙලින් මළවලා කා-අඹු නොතකන එකා-සියක් අඹුවන් වුවද සලකා” යනු වැල්පෙනෙල ශාඛයේ ගුණ සම්බන්ධයෙන් අතිශය ප්‍රකට කවියකි.

ඉන් පැවසෙනුයේ වැල්පෙනෙල අතු-ඉති එළඟි තෙලෙන් මළවා අනුභව කළ පසු තමන් ගේ බිරිඳ කෙරෙහි ලිංගික උනන්දුවක් නොදක්වන තැනැත්තා අඹුවන් සියයක් සම්බන්ධයෙන් වුව එවැනි උනන්දුවක් පළ කරන බව ය.

ආයුර්වේදයේ මූලික ඉගැන්වීම් අතර නොමැති මෙම මතය යෝග රත්නාකරය වැනි ආයුර්වේද දේශීය වෛද්‍ය ක්‍රම සාමාන්‍ය ජනතාව අතරට එක් කළ කවි පොත් සමඟ ජනගත වූවක් බව පෙනෙයි.

ආයුර්වේදයට අනුව ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය ප්‍රවර්ධනය කරවීම සම්බන්ධ මෙම විෂය හැඳින්වෙනුයේ ‘වාජීකරණ’ යනුවෙනි. මෙහි වචනාර්ථය අනුව බැලුවහොත් බටහිර ඉන්දියාවේ මහාරාෂ්ඨයේ ව්‍යවහාර වන මරාති බසේ අශ්වයා, අශ්වාරෝහකයා, බලය, වර්ධනය ආදිය හැඳින්වීම පිණිස යෙදෙන ‘වාජී’ සහ වදන ද යෙදෙන බව අප සැළකිල්ලට ගත යුතු ය.

ආයුර්වේදයේ එන මෙම වාජීකරණ චිකිත්සාව සම්බන්ධයෙන් අතිශය ජනප්‍රිය පාන වර්ගයක් තිබේ. එනම් අශ්වගන්ධාරිෂ්ඨයයි. මෙම අරිෂ්ඨය නිෂ්පාදනය සඳහා යොදන මූලද්‍රව්‍යය අශ්වගන්ධ ය. එය දෙමළ බසින් අමුක්කරෙයි යනුවෙන් හැඳින්වෙන අතර සිංහලයෙන් එය අමුක්කරා ලෙසින් හඳුන්වනු ලැබේ.

අමුක්කරා හෙවත් අශ්වගන්ධ සඳහා ඒ නම යෙදී ඇත්තේ එම ශාකයේ අල අශ්වයා ගේ මුත්‍රා ගන්ධයෙන් යුතු නිසා ය. එහෙත්, එහි ඖෂධීය ගුණය පසෙක තිබිය දී අශ්වයාගේ මුත්‍රා ගන්ධයෙන් යුතු බැවින් එහි ද කිසියම් ලිංගික වාජීකරණ බලයක් හෙවත් ලිංගික ප්‍රවර්ධන ශක්තියක් තිබේ දැයි පැරැන්නන් කල්පනා කර තිබීම නිසා වීමට ද බැරි නැත.

ලොව පිළිගත්, සම්මත වෛද්‍ය ක්‍රම කොතෙකුත් තිබුණ ද ඒ සියල්ල අතරින් එක් එක් ජන කොටස් හා ජන සංස්කෘතීන් හා සබැඳි වෛද්‍ය ක්‍රම ද තිබේ. සමාජ විද්‍යාවේ ඒවා හැඳින්වෙනුයේ ජන වෙදකම (Falk medicine) යනුවෙනි.

මෙම ජන වෙදකම යනු සමාජ, ආර්ථික වශයෙන් එතරම් දියුණුවක් නොලද ඇතැමුන් තුන් වන ලෝකයේ රටවල් යනුවෙන් හැඳින්වෙන රටවල් තුළ පමණක් භාවිතා වන්නක් වන බොහෝ දෙනෙක් සිතති. එහෙත්, එය ඉඳුරාම වැරදි ය.

ලෝකයේ දියුණුම සමාජ, ආර්ථිකයක් සහිත ඇමරිකාවේ තවමත් රයිනෝසිරස් අං කුඩු කොට තැනූ බව පැවසෙන ආලේපන වෙළෙඳ පළේ තිබේ. ඒවායේ මිල ද අතිශයින් ඉහළ ය.

එම ආලේපනය භාවිතා කිරීමෙන් පුරුෂේන්ද්‍රිය රයිනෝසිරස් අඟක් මෙන් සවිමත් වන බවට පවතින ජන විශ්වාසය කිසිදා දුරු කළ හැකිවනු ඇතැයි මට නොසිතේ. ලොව පුරා රයිනෝසිරස් දඩයම වේගයෙන් ඉහළ නැංවෙන තරමට මෙම මිථ්‍යා මතය ලොව පුරා පැතිර තිබීම පාරිසරික වශයෙන් ද බරපතල ඛේදවාචකයකි.

මෙහි දී මගේ සිහියට නැංවෙනුයේ වෛරස ආසාදනය නිසා ඇතිවන කම්මුල් ගාය රෝගී තත්වයයි. එහි දී එම වෛරසයේ බලපෑමෙන් ඊට ලක්වන රෝගියාගේ කොපුල් තල ඉදිමෙන අතර අලියකු ගේ හකු ඇටයක් දෙහි ඇඹුලෙන් උරච්චි කොට එම කොපුල් තල වල ආලේප කිරීමෙන් එම ඉදිමුම අඩුවන බවට ජන විශ්වාසයක් අප සමාජයේ ද පැවතිණ.

මීට අමතරව වැහිලිහිණි කූඩු තම්බා සකසන සුප් වර්ග පානයෙන් පිරිමින් ගේ ලිංගික ශක්තිය ප්‍රවර්ධනය වන බවට පැතිර ගත් විශ්වාසයක් ද ලොව පුරා තිබේ.

ඒ හේතුවෙන් තායිලන්තය ආදී රටවල මෙම වැහිලිහිණි සුප් මිල අධිකම පාන වර්ගයක් වන අතර එහි සංචාරය සඳහා පැමිණෙන යුරෝපා සහ ඇමරිකානු සංචාරකයෝ ද ඒවා පානය කරති.

වැහිලිහිණින් එම කූඩු සවිමත් කර ගැනීම පිණිස වන මැලියමක්, බදාමයක් ලෙස තම කෙළ හා මුසු යම් ද්‍රාවණයන් යොදා ගන්නා බවත් එහි පවත්නා සෙවල මුසු බව මුල් කොට ඒවා පානයෙන් පිරිමින් ගේ ශුක්‍ර වර්ධනය වන බවටත් පවතින ජන විශ්වාසය මේ සඳහා මුල් වන බව පෙනෙයි. මෙහි දී අපගේ මාතෘකාව වන වැල්පෙනෙල සම්බන්ධයෙන් ද විශේෂයෙන් කිව යුත්තක් තිබේ.

එනම් එම වැල්පෙනෙල ශාඛය තැලීමේ දී පොඩි කිරීමේ දී මතුවන සෙවල ගතිය. පානමය වශයෙන් ශරීර ගත වීමෙන් පසු පිරිමින් ගේ ධාතු ශක්තිය වැඩි වන්නේය යන ස්වභාවික උපකල්පනය පොදු ජන විඥානය තුළට පිවිසීමට ඇති පහසු හැකියාවයි.

මෙහිදී ඉහත සඳහන් අන්දමට වැල්පෙනෙල ශාකය එළඟි තෙලෙන් මළවා අනුභව කිරීම කෙසේ වුවත් වර්තමානයේ වැල්පෙනෙල බහුලවම ආහාරයට ගනු ලබනුයේ කැඳක් වශයෙනි.

එමෙන්ම අප රටේ ග්‍රාමීය ජනතාවට සාපේක්‍ෂව නාගරික මධ්‍යම පාන්තිකයන් අතර වැල්පෙනෙල කැඳ ජනප්‍රියතම පාන වර්ගයක් වී තිබේ. හුදෙක් වානිජ බෝගයක් නොවන වැලපෙනෙල ශාක ටොන් ගණනක් නිතිපතා අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල අලෙවිය සඳහා සැපයීම මත මෙම ජනප්‍රියත්වය කොතෙක් ද යන්න සිතාගත හැක.

මින් කිනම් හෝ ප්‍රතිඵලයක් නොමැති නම් වැල්පෙනෙල සම්බන්ධයෙන් අඛණ්ඩවම මෙතරම් ඉල්ලූමක් පවතින්නේ කෙසේද? යන්නට ප්‍රබල තර්කයකි. ඉංගීසි භාෂාවෙන් Ballon vine, winter cherry ආදී නම් වලින් හැඳින්වෙන වැල්පෙනෙල වල විද්‍යාත්මක නාමය Cardiospermum halicacabum යනුවෙනි.

ශ්‍රී ලංකාවේ වාජීකරණ පානයක් සකසා ගැනීම සඳහා යොදන ලද මුත් මේවා වඩාත් ව්‍යාප්ත අප්‍රිකාව, ඕස්ට්‍රිලියාව, උතුරු ඇමරිකාවේ නිවර්තන සහ උප නිවර්තන දේශගුණික කලාපයන් තුළ ඊට කිසිදු අගැයුමක් ලැබී ඇති බවක් නොපෙනෙයි. එමෙන්ම නවසීලන්තය, බර්මියුඩා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා, ආකුපන්සාස්, දකුණු කැරොලිනා, ටෙක්සාස් යන ප්‍රාන්තයන් හි එය පැතිරවීම සහ බෙදාහැරීම නීතිමය වශයෙන් තහනම් කොට ඇති ආක්‍රමණික ශාඛයකි; වල් පැළෑටියකි.

නමුදු සංස්කෘත බසින් ‘කකටික්වා’ යනුවෙන් හැඳින්වෙන දේශීය වශයෙන් ද ආයුර්වේද ඖෂධීය භාවිතයක් සඳහා යොදා ගැනෙයි. ඒ රූමැටරොයිඩ් ආතරයිටිස්, කොන්දේ කැක්කුම, හර්නියා සහ ආයුර්වේදයේ වාත රෝග වශයෙන් හැඳින්වෙන මාංශ පේශී ගත වේදනාවන් සඳහා ය. ඊට අමතරව එය කාමෝද්දීපකයක් (Aphrodisiac) දක්වා ඇතත් පැරණි ආයුර්වේද පොත් පත් කිසිවක ඒ සම්බන්ධ සංයෝග දක්වා නැත.

ඒ අනුව ද අපට සාධාරණ ලෙස අනුමාන කළ හැක්කේ මෙය ද අපගේ ජන වෙදකම තුළින් ආයුර්වේදය ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රම වලට පිවිසි කාමෝද්දීපනයක් බව ය.

මීට අමතරව මෙම වැල්පෙනෙල ශාඛය සම්බන්ධයෙන් ජර්මානු හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන් විශේෂ අවධානයක් යොමු කොට ඇති අතර පොතු කබර සහ සන්ධි ආශ්‍රිත රෝග සඳහා වන ප්‍රතිකාර සඳහා එය යොදා ගැනෙයි.

ලොව නොයෙකුත් වෛද්‍ය ක්‍රම පැවැතිය ද ලොව සෑම ජන සමාජයකම දක්නට ලැබෙන මෙම ජන වෙදකම සාම්ප්‍රදායික අනුපූරක සහ අනුකලන වෛද්‍ය ක්‍රමයක් (Traditional, Complementary and integrative Medicine) ලෙස භාවිතයට ගැනීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අවධානය යොමු වී ඇත.

ඊට හේතුව ජන විශ්වාස පෙරදැරි කරගත් අප ගේ ජන වහරේ ‘අත් ගුණය’ ලෙස ව්‍යවහාර වන තුෂ්ටක බලය (Placebo effect) මුල් කොට එමගින් ද යම් යම් රෝග සහ රෝග ලක්ෂණ සුවපත් වීම හෝ යටපත් වීම සිදු වනු ඇත. එහෙත්, මෙම ප්‍රතිකාර ක්‍රම සෑම රෝගයක් කෙරෙහිම සාධනීය ලෙස බලනොපාන බව ද විශේෂයෙන් කිව යුතුය.

නමුදු අපගේ ජන සම්මතයෙහි එන බොහෝ දෙනකු අත්හදා බලා ප්‍රායෝගික වශයෙන් ප්‍රතිඵල ලබා ඇති බව පැවසෙන මෙම වැල්පෙනෙල ‘කාමෝදීපකය’ සම්බන්ධයෙන් නිශේධනාත්මකව කරුණු දැක්වීමට අපට අවශ්‍ය නැත.

මේ සඳහා මේ මොහොතේ මගේ මනැසට නැඟෙන සරල සිතුවිල්ලක් මෙහිලා සඳහන් කරමින් මෙම සටහන නිමා කරනු කැමැත්තෙමි. ඒ ලෝකයේ ඕනෑම දියුණු සටන් ක්‍රම දන්නවුන් හා සටන් කොට දිනිය හැකි ‘පොල් අඩි’ කාරයන් ද ඉඳහිට හෝ සිටිය හැකි බව ය.

හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ

එතෙර - මෙතෙර