නෙතට රස වුවද ගතට විස වන සම සුදු කරන ඖෂධ

විවිධ රූපලාවන්‍ය සත්කාර හේතුවෙන් මේ වන විට, විශේෂයෙන් කාන්තාවන්ගේ සමේ රෝග ඉහළ ගොස් තිබෙන බව නොරහසකි. මෙම රූපලාවන්‍ය සත්කාර නිසාම මරු වැළඳගත් අය ගැන ද ඉඳහිට අසන්නට ලැබිණි. රූමත් වීම සහ තරුණ බව දිගු කලක් රැක ගැනීම සඳහා අනුගමනය කරනු ලබන මෙවැනි රූපලාවන්‍ය ක්‍රම කොතෙක් දුරට අපේ සමට ගැළපෙන්නේද යන්න ගැන කිසිවකු අවධානය යොමු කරන බවක් නොපෙනේ.

අපේ රටේ සිදුකෙරෙන සුලබ රූපලාවන්‍ය සත්කාර අතර සමේ පැහැය වැඩි කරගැනීම සඳහා කරනු ලබන පිළියම් සේම, සමේ ව්‍යුහයේ ඇතිවන ඉන්නන්, සමේ රැලි වැනි වෙනස්කම් යථා තත්ත්වයට පත්කර සම පැහැපත්ව තරුණ ලෙසින් තබා ගැනීම සඳහා කරනු ලබන පිළියම් ද විශේෂයෙන් දැක්විය හැකිය. මේ සඳහා කරනු ලබන සත්කාර අතර විවිධ ආලේපන, පෙති වර්ග, එන්නත් වර්ග භාවිතය සේම ශල්‍යකර්ම මගින් සිදු කරනු ලබන සත්කාර ද වේ.

පැහැපත් වීම ඉක්මවා යන සම සුදු පැහැ වීම

රූපලාවන්‍යයේදී බොහෝ විට කතා කළේ සම පැහැපත්ව ( fairness ) පවත්වා ගැනීම පිළිබඳව ය. නමුත් ඒ තත්ත්වය ඉක්මවා ගොස් අද වන විට එය සුදුවීමේ ( whiteness ) උන්මාදයක් දක්වා පැතිර ගොස් තිබේ. සම සුදු වේ නම් ඕනෑම විෂ සහිත දෙයක් වුව සමේ ආලේප කර ගැනීමට බොහෝ කාන්තාවන් අද වන විට පෙළඹී සිටින බව පෙනේ.
අපේ රටේ ලියාපදිංචිය සහිත පිළිගත් වෙළෙඳ නාමයන් යටතේ නිෂ්පාදනය කර ඇති වයිට්නින් ක්‍රීම් වර්ග වෙළෙඳ පොළේ තිබේ. මේවායේ නිෂ්පාදිත රට, දිනය ස්ථානය සේම එහි ඇතුළත් ද්‍රව්‍යවල විස්තරයක් ද අඩංගු ය. මෙවැනි ආලේපනයක් භාවිතා කර කිසියම් අසාත්මිකතාවයක් සිදු වුවහොත් හෝ සමේ කිසියම් ගැටලුවක් මතු වුවහොත් ” මා භාවිතා කළේ මෙම ද්‍රව්‍යය ” යැයි වෛද්‍යවරයාට පෙන්වීමට දෙයක් හෝ රෝගියාට තිබේ. අඩු තරමින් අදාළ ප්‍රතිකාරවලට යොමු වීමට හෝ එය උදව්වක් වනු ඇත.

නමුත් ඒ කිසිදු විස්තරයක් අඩංගු නැති ‘ගාපු ගමන් සුදු වෙන’ විශ්වකර්ම ආලේපන වර්ග ද අද වෙළඳපොලේ පවතියි. විවිධ ඇසුරුම්වල, ඩප්පිවල, කුඩා කුප්පි ආදියෙහි බහා එනු ලබන මෙම ද්‍රව්‍ය බොහෝවිට සංසරණය වන්නේ රූපලාවන්‍යාගාර ආශ්‍රිතව ය. මෙම ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා වෙනම තැරැව්කරුවෝ පිරිසක් පිරිසක්ද අද වන විට බිහිවී සිටිති. දවස් කීපයක් ඇතුළත සිදුවන බව කටින් කට පැතිර යන ආරංචිවලට අනුව මේවා ඉතා විශාල වශයෙන් අලෙවි වෙයි . සුවඳ කවා අලංකාර දවටනවල බහා තිබෙන මේවා සෘෂිවරුන් විසින් සාදන ලද ශාකසාර ආලේපන බව කියමින් හෝ චීනයේ ඈත ගම්බද පළාත්වල රූමතියන් සිය රුව වඩවා ගැනීම සඳහා භාවිතා කරන ලද ඒවා බව කියමින් හෝ විශාල මිල ගණන්වලට අලෙවි කරනු ලබයි. මේවායේ අඩංගු වන්නේ මොනවාද , නිෂ්පාදනය කරන්නේ කෙසේද යනාදිය ගැන කිසිවක්, කිසිවකු දන්නේ නැත. ඒවායේ සංයුතිය පිළිබඳව සොයා බැලීමට නම් රසායනාගාර පරීක්ෂාවකට ලක් කළ යුතුය. නමුත් එවැනි රෑට සිදු නොවේ. මේවා ආලේපනයෙන් සම සුදු පැහැ වන බව සත්‍යයක් විය හැකිය. නමුත් මෙලෙස මතුපිට සම සුදුවීම යහපත් සේම අයහපත් අයුරින් ද සිදුවීමට ඉඩ ඇත. මෙවැනි ආලේපන වරද්දාගෙන ප්‍රතිකාර සඳහා සමේ රෝග වෛද්‍යවරුන් වෙත එන පිරිස බොහෝ ය. නමුත් ඔවුන් භාවිතා කර තිබෙන ආලේපනයේ අඩංගු දෑ නොදැන ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම ඉතාමත් ගැටලු සහගත වී තිබේ.

මේ අතර මාරාන්තික ප්‍රතිඵල ගෙන එන ආලේපන ද තිබේ. එක්සීමා නමින් හඳුන්වන රෝගී තත්ත්වය නිසා හටගන්නා තුවාලවලට ප්‍රතිකාර ලෙස ලබාදෙන ස්ටීරොයිඩ් වර්ග ආලේපනයෙන් අනතුරුව එම තුවාල වටා තිබෙන සම සුදු පැහැ වීම දක්නට ලැබේ. නමුත් කූට වෙළඳුන් මේවා තවත් ක්‍රීම් වර්ග සමග කලවම් කර කුඩා හුරුබුහුටි අලංකාර ඇසුරුම්වල බහා සම පැහැපත් කරවන, කළු ලප ඉවත් කරවන ආලේපන ලෙස අලෙවි කරනු දක්නට ලැබේ. ඇතැම් ෆාමසිවල පවා මෙවැනි ද්‍රව්‍ය විකිණීමට ඇත. වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙවැනි ඖෂධ වර්ග සමේ ආලේප කිරීම මොන වර්ගයේ රෝග හටගැනීමට හේතුවක් වේ දැයි සිතා ගැනීම පවා උගහට ය. මේවා භාවිතය නිසා සමේ කුරුලෑ හට ගැනීම, විවිධ අසාත්මිකතා ආදිය ඇතිවීම කෙටි කලෙකින් ම දැකගත හැකි මුත් මේවා දීර්ඝ කාලයක් භාවිතා කරලීම ඔබවත් නොසිතන ආකාරයේ විවිධ රෝගවලට ඔබ භාජනය කිරීම සඳහා හේතු වනු ඇත. එය අකල් මරණ උදාකරලීම දක්වා ඉතාමත් බිහිසුණු අහිතකර ප්‍රතිඵල අත්කර දීමට පවා හේතුවන බව දැන් සනාථ වී තිබේ.
සම සුදු පැහැ ගැන්වීමට තිබෙන ප්‍රතිකාර අතර පෙති වර්ග, එන්නත් වර්ග වැනි බොහොමයක් දේවල්වලට ඖෂධ අධිකාරියේ ලියාපදිංචියක් පවා නැත.

සම සුදු කරන glutathione නමැති ඖෂධය ලෝකයේ මුලින්ම යොදා ගත්තේ පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන කීමෝතෙරපි ප්‍රතිකාරයේදී ඇති වන හිසකෙස් ගැලවී යාම, වමනය වැනි ශරීරයට දැනෙන දැඩි අසහනකාරී, කරදරකාරී තත්වයන් අඩු කිරීම සඳහා ය. මෙම ඖෂධය එන්නතක් ලෙස යොදාගනිමින් සිදු කරන රූපලාවන්‍ය ප්‍රතිකාරයේදී මුලින්ම සති 2කට වරක්, මසකට වරක් බැගින් ලබා දෙමින් පසුව සම නඩත්තු කිරීමක් සමග පවත්වාගෙන යා යුතු බවට ප්‍රතිකාරයේදී උපදෙස් ලැබෙයි. මේවා තුළින් ඇතිවන සමේ සුදු පැහැවීම හෝ පැහැපත් වීම සැමදා පවතින්නේ නැත. ඒ අනුව ඉතා කෙටි කාලයකට සම යන්තමට සුදු කරගෙන ලබා ගන්නා තාවකාලික වාසියට වඩා මෙවැනි අහිතකර ඖෂධ වර්ග ශරීරගත කර ගැනීමෙන් අත්විඳින්නට සිදුවන දිගුකාලීන අහිතකර ප්‍රතිඵල බොහෝ වැඩි බව සිහි තබා ගැනීම වටී. ඇමරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය( USFDA) Glutathione නම් ඖෂධය සම සුදුවීම සඳහා එන්නත් මගින් යොදා ගැනීම අහිතකර බවට අනතුරු අඟවා ඇත.

මෙවැනි විවිධ දේවල් මගින් තාවකාලිකව සම සුදු පැහැ ගැන්වීමට පුළුවන. නමුත් මෙය කොයිතරම් දුරට සෞඛ්‍යයට අහිතකර දැයි මෙතෙක් පර්යේෂණ සිදු කර නොමැත. සමහර ඖෂධවලින් ඇතිවන අතුරු ප්‍රතිඵල යොදා ගනිමින් දිගු කාලීනව කරන ලද අධ්‍යයනවලින් පසු ඒවා යොදාගෙන වෙනත් ඖෂධ නිපද වූ අවස්ථා ඇත. හොඳම උදාහරණයක් වන්නේ Minoxidil නම් ඖෂධයයි. අධික රුධිර පීඩනය සඳහා දෙනු ලබන එම ඖෂධය හේතු කරගෙන හොඳින් හිස කෙස් වර්ධනය වන බව සොයා ගැනීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණ මගින් නියමාකාරයෙන් එම ආරක්ෂිත ඖෂධය නිපදවනු ලැබිණි. නමුත් කිසිදු පර්යේෂණයක් සිදු කොට නොමැති Glutathione වැනි ඖෂධ මෙලෙස හිතුමතේ රූමත් වීම සඳහා යොදා ගැනීම කිසිසේත් ආරක්ෂාකාරී වන්නේ නැත.
සම සුදු පැහැ ගන්වන ඖෂධ හැරුණු විට රූමත් වීම සඳහා වෙළඳපොලේ ඇති විවිධ විටමින් සහ නොයෙකුත් විටමින් වර්ග අඩංගු සංයෝග ලබා ගැනීම ද විශාල සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරයි. විටමින් කී විට ඒවා හිතුමතේ ලබාගැනීම කිසිදු ගැටලුවක් ඇති නොකරන්නක් බව බොහෝ අය සිතන්නට පුළුවන. නමුත් අනවශ්‍ය තරමට ඒවා ලබා ගැනීම නිසා ශරීරයේ විවිධ කොටස්වල තැන්පත් වීමෙන් නොයෙකුත් ගැටලු ඇති වීමට බොහෝ ඉඩ කඩක් තිබේ. කෙසේ වුවද හිතුමතේ හෝ සුදුසුකම් නොලත් පුද්ගලයන්ගේ නියමයෙන් ඖෂධ භාවිතයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය අකල් මරණයක් වීම දක්වාම දුර දිග යා හැකිය.

සමේ රෝග විශේෂඥ  වෛද්‍ය ඉන්දිරා කහවිට

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය