ප්‍රේක්‍ෂකයන් වසඟයට ගනිමින් තිරගත වන රජිනිකාන්ත්ගේ අලුත්ම සිනමාපටය ‘ජේලර්’

සිනමා ප්‍රේක්‍ෂකයන් අතර උන්මාදයක් ඇති කරන්නට සමත්ව ඇති තවත් චිත්‍රපටයක් ගැන මේ දිනවල ඉන්දියාවෙන් වාර්තා වේ. ඒ සුපිරි නළු රජිනිකාන්ත්ගේ අලුත්ම සිනමාපටය වන ‘ජේලර්’ චිත්‍රපටයයි. පසුගිය 10 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කළ එය ලොව පුරා ප්‍රදර්ශණයෙන් දින හතරක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 300 ක ආදායමක් උපයන්නට සමත්ව තිබේ. සිනමාපටයක් මෙතරම් කෙටි කලක් තුළ මෙවැනි ආදායමක් උපයන්නට සමත් වන්නේ කලාතුරකිනි. ජේලර් නැරඹීම සඳහා ප්‍රේක්‍ෂකයන් වැල නොකැඩී සිනමාශාලා වෙත පැමිණෙමින් සිටින අතර එය තිරගත වීම ආරම්භ කළ දිනයේ තමිල්නාඩුවේ රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ට නිල නොවන ආකාරයෙන් නිවාඩු ලබා දී තිබූ බවක් ද වාර්තා විය. ඒ පළමු දිනයේම චිත්‍රපටය නැරඹීමට පුල පුලා බලා සිටි සිනමාලෝලීන්ට ඒ සඳහා අවස්ථාව සලසා දීම සඳහා ය. ඔවුන් රතිඤ්ඤා දල්වමින්, නටමින් වයමින් එම අවස්ථාව සමරන අයුරු මාධ්‍ය තුළ පළ වී තිබිණි.

‘ජේලර්’ ඉතා උද්වේගකර සිදුවීම්වලින් පිරි වේගවත් කතා පුවතක් රැගත් සිනමාපටයකි. මෙහි රජිනිකාන්ත් රඟපාන්නේ මුතුවෙල් පාණ්ඩියන් නැමැති විශ්‍රාමික බන්ධනාගාර නිලධාරියකුගේ චරිතයකි. ඔහුගේ පුතා වන අර්ජුන් පොලිසියේ ඉහළ නිලධාරියෙකි. ඔහු බිහිසුණු දාමරික කල්ලියක නායකයකු පිලිබඳ විමර්ශණයක නිරතව සිටියි. මෙම දාමරික නායකයා කොටු කර ගැනීමට ආසන්න වෙත්ම අර්ජුන් හිටිහැටියේ අතුරුදන් වෙයි. ඔහු ඝාතනය කර ඇති බවට සැක පළ වේ. ජේලර් චිත්‍රපටයට පසුබිම් වන්නේ මුතුවෙල් පාණ්ඩියන් තම පුතුගේ ඝාතකයන් හඹා යාම පිලිබඳ කතාවයි.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මෝහන්ලාල් සහ ජනප්‍රිය බොලිවුඩ් නළු ජැකී ෂ්රෝෆ් ද මෙහි කෙටි චරිත රඟපාති. ජේලර් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපනය කරන්නේ රම්‍යා ක්‍රිෂ්ණන් ය.

කෙටිම කාලයකින් ඉන්දියානු රුපියල් කෝටි 300 යේ ආදායම් සීමාව පසුකර ගිය දෙමළ චිත්‍රපට අතර දෙවැනි තැන හිමි කරගැනීමට මේ වනවිට ජේලර් සමත්ව සිටියි. පළමු තැන පසුවන්නේ ද රජිනිකාන්ත්ගේම චිත්‍රපටයක් වන 2.0 චිත්‍රපටය යි. එය දින 4 ක් ඇතුළත ඉ. රුපියල් කෝටි 400 ක් උපයන්නට සමත් විය. 2.0 තිරගත වූයේ 2018 වසරේ යි. ආක්ෂේ කුමාර්, අයිශ්වර්යා රායි වැනි නළු නිළියෝ ද එහි රඟපෑහ.

ඇමරිකාව වැනි රටවල පවා ජේලර් නැරඹීමට විශාල උනන්දුවක් පැවැති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. චිත්‍රපටය තිරගත වීමටත් පෙර එහි ප්‍රවේශපත් විශාල වශයෙන් අලෙවි වී තිබූ අතර ඒ අතින් වාර්තාවක් පවා පිහිටුවා තිබූ බව සඳහන් ය. ඕමානය වැනි රටවල පවා පාන්දර 4.30 සිට දර්ශණ වාර පැවැත්වෙන බව සඳහන් වේ.

චිත්‍රපටයේ අවසන් කූඨප්‍රාප්ති අවස්ථාව සම්බන්ධයෙන් ද බොහෝ දෙනා කතාබහ කර තිබෙනු දැකිය හැකි විය. ඇතැමුන් පවසා තිබුණේ එය දෙමළ චිත්‍රපටයක දක්නට ලැබුණු හොඳම අවසානයක් බවයි.

රජිනිකාන්ත්ගේ වයස මේ වනවිට අවුරුදු 72 කි. පසුගිය කාලයේ ඔහු විවිධ රෝග තත්ත්වයන්ගෙන් ද පෙළෙමින් සිටියේය. නමුත් තවමත් ඔහු ඉතාම කාර්යබහුල නළුවෙකි. එමෙන්ම ඔහුගේ ජනප්‍රියත්වය ද එදා මෙන්ම තවමත් නොනැසී පවතින ආකාරය පුදුම සහගත ය. කලක් බැංගලෝරයේ බස් කොන්fදාස්තරවරයකු ලෙස ද රැකියාව කළ රජිනිකාන්ත් සිනමාවට පිවිසියේ නවසිය හැත්තෑව දශකයේ යි. ඔහුගේ පළමු සිනමාපටය 1975 වසරේ තිරගත වූ ‘අපූර්ව රාගන්ගල්’ චිත්‍රපටය යි. රජිනිකාන්ත් මුල් කාලයේ රඟපෑවේ සහය චරිත සහ දුෂ්ඨ චරිත ය. ප්‍රධාන නළුවකු ලෙස ඔහු කරළියට පැමිණියේ 1976 වසරේ තිරගත වූ ‘අන්තුලේනි කතා’ සහ ‘මූන්ද්රු මුදිසු’ වැනි චිත්‍රපට හරහා ය. මේ වනවිට ඔහු චිත්‍රපට 169 ක ප්‍රධාන චරිත රඟපා තිබේ.

රජිනිකාන්ත් මේ වනවිට ඉන්දියාවේ ධනවත්ම නළුවන්ගෙන් කෙනෙකි. ජේලර් චිත්‍රපටය සඳහා ඔහු ඉන්දීය රුපියල් කෝටි 110 ක් අය කර ඇති බව මෑතක පළ වූ වාර්තාවක සඳහන්ව තිබිණි. ඔහු විවාහ වී සිටින්නේ ලතා රංගචාරි සමග යි. රජිනිකාන්ත් බස් කොන්දොස්තරවරයකු ලෙස කටයුතු කළ කාලයේ හමු වූ නිර්මලා නැමැති වෛද්‍ය සිසුවියක සමග එකල ඔහුගේ සම්බන්ධයක් පැවැති බවක් ද සඳහන් වේ. ඔහු නාට්‍යයක රඟපානු දුටු ඇය ඔහුව රංගන කටයුතු සඳහා වඩාත් උනන්දු කර තිබිණි. ඔහුට රංගනය හැදෑරීම සඳහා නිර්මලා එක්තරා ආයතනයකට ඔහු වෙනුවෙන් අයදුම්පතක් ද යොමු කර තිබුණාය. රජිනිකාන්ත් ඒ අනුව එම ආයතනයට බැඳී රංගනය හදාරා තිබිණි. නමුත් පසු කාලයේ ඔවුන් දෙදෙනාට එකිනෙකා මග හැරී තිබූ බව සඳහන් වේ.

මේ වනවිට රජිනිකාන්ත් දියණියන් දෙදෙනකුගේ පියෙකි. වැඩිමල් දියණිය වන අයිශ්වර්යා විවාහ වී සිටියේ දෙමළ සිනමාවේ තවත් ජනප්‍රියම නළුවකු වන ධනුෂ් සමග යි. දෙවැනි දියණියගේ නම සෞන්දර්යා ය. මොවුන් දෙදෙනාම චිත්‍රපට අධ්‍යක්‍ෂවරියන් වීම විශේෂත්වයකි.

නිහාල් පීරිස්

රසගඟුල