පාර්ලිමේන්තුව ඇතුළේ මොන සෙල්ලම් දැම්මත් එළියේ ජනමතයත් තේරුම් ගත යුතුයි

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මොන මොන දේශපාලන සෙල්ලම් දැම්මත් එළියේ ජන මතය අවබෝධ කරගෙන එයට ගරු කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන මතයක් නිර්මාණය වී ඇති පසුබිමක එම ජනමතයේ පැතිකඩක් හෝ පාර්ලිමේන්තුව තුළින් නියෝජනය නොවීම අතිශය අහිතකර තත්වයක් බවත් ඉන් සිදුවන්නේ පාර්ලිමේන්තුව පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටී ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මරු පහරක් එල්ල වීම බවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා වැඩිදුරටත් පැවසීය.අද නියෝජ්‍ය කතා නායක වරයකු තෝරා ගැනීමට පැවැති ඡන්දයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ අපේක්ෂකවරයා වූ රංජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබා ගෙන නියෝජ්‍ය කථානයකවරයා ලෙස පත්වූ අතර විපක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය කථානායක ධුරයට ඉදිරිපත් කරනු ලැබූ ඉම්තියාස් බකීර් මාකර් ලබා ගත්තේ ඡන්ද 65ක් පමණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා මෙසේ ද කීය.
“මේ සභාව ජනතාවගේ හඬ නියෝජනය කරන මධ්‍යස්ථානයක් විය යුතුයි. එහි හරස් කඩක් විය යුතුයි. ඒ නිසා මෙම වෙලාවෙ දී එම විශ්වාසනීයත්වය රැකගන්න බැරිවුණොත් එතන ප්‍රශ්නයක් මතු වෙනවා අද මේ පාලනයට එරෙහිව මේ රටේ ජන මතය යන අවස්ථාවේදී මන්ත්‍රී වරුන්ගේ මේ ඡන්දය පාවිච්චි කිරීම මට තේරුම් ගන්න බැහැ. අපේ රටේ ජන මතයට ගරු කරමින් ඒ ප්‍රවණතාවය පෙන්නුම් කරමින් නිර්භීතව මේ අවස්ථාවේ දි ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන්ට මගෙ ප්‍රණාමය පුද කරනවා.“එහිදී නව නියෝජ්‍ය කතානායකවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ද හිමිවූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව තුළ පවතින දේශපාලන ක්‍රමවේදය ගැන රටේ මහජනතාවට අද දිනයේ දී නියම පණිවිඩයක් ලබා දුන් බවයි.

 

කාලීන පුවත්