පාසල් දරුවන් ලක්ෂ 16කට දිවා ආහාරය

මෙරට පාසල්වල ලක්ෂ 16ක් වන 1 වසරේ සිට 5 වසර දක්වා සියලු දරුවන්ට එළැඹෙන මාර්තු මාසයේ සිට දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් ඒ අනුව දිනකට වෙන්ව ඇති මුදල රුපියල් 110ක් දක්වා වැඩි කරමින් දිවා ආහාර වේල ලබාදෙන බවත් ඇමැතිවරයා පැවසුවේය. ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162ක් වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වන විට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීම සිදු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය. විදේශීය භාෂා ඉගෙනීම සඳහා මේ වන විට සිසුන් තුළ පවත්නා වැඩි නැඹුරුව සහ ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් ද මෙරට වත්මන් ආර්ථික ප්‍රමුඛතාවන් ද සැලකිල්ලට ගෙන දැනට පාසල් පද්ධතිය තුළ පවත්නා විදේශ භාෂා ඉගැන්වෙන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමත් භාෂා විද්‍යාගාර දැනට ක්‍රියාත්මක වන පාසල් වෙත නව විදේශ භාෂා හඳුන්වාදීමත් අරමුණු කර ගනිමින් ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි, ජර්මන් යන විෂයන් රජයේ පාසල් තුළ ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අදාළව ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

කාලීන පුවත්