පැසිෆික් සුළි කුණාටුවක් හේතුවෙන් 06 න් පසු යළි වැසි වැඩිවන ලකුණු

කොළඹ – පැසිෆික් සාගරයේ ජපානයට පහළින් වර්ධනය වෙමින් පවතින සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අගෝස්තු 06 වැනිදායින් පසුව නැවතත් දිවයින හරහා හමන සුළං ධාරාව වේගවත් විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, එම තත්ත්වයත් සමඟ ඉදිරි දින කිහිපයේදී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නැවත වැසි තත්ත්වයක් ඇති විය හැකි බවයි.පවතින එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් අගෝස්තු මාසයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාවට වඩා අඩු වැසි ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි කලින් පුරෝකථනය කර තිබුණි. කෙසේ වෙතත්, නිරිතදිග මෝසම අවසන් වන කාල සීමාව වන සැප්තැම්බර් මාසයේදී පැසිෆික් සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල කැළඹිලි ස්වභාවයක් ඇති විය හැකි බැවින් නිවැරදිව පුරෝකථනය කිරීම සංකීර්ණ වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර, ඉහළ මධ්‍යම වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වභාවය සහ සුළඟේ වේගය වැඩිවීමත් සමඟ වායුගෝලයේ තිබුණු ජල වාෂ්ප මධ්‍යම කඳුකරයට තල්ලු වී යාමෙන් පවතින තද වැසි තත්ත්වය හටගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේය.ඒ අනුව මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට වැඩි වැසි ප්‍රමාණයක් ලැබී ඇත.අද (04) අලුයම් කාලයේදීත් මහනුවර, නුවරඑළිය, සබරගමුව සහ බස්නාහිර පළාතේ සමහර කොටස්වලට වැසි පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, හෙට දහවල් කාලයෙන් පසුව පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කරයි.

කාලීන පුවත්